ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී හතර අතට පහරදෙයි

Spread the love

එක්‌සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්‌ඩල සැසිය පෙරේදා (19 දා) පස්‌වරුවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී ආරම්භ විය.

එහිදී තම දේශනය සිදුකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝකයේ තමන්ට ප්‍රතිවාදී රටවල් රැසකට දැඩි වාග් ප්‍රහාර එල්ල කළ අතර සමච්චලයට ලක්කරනු දක්නට ලැබිණ. මෙය ඔහු එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය අමතමින් සිදුකළ පළමු කතාව විය.

සිය කතාවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක්‌කරමින් අදහස්‌ දැක්‌වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා “රොකට්‌ මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින් සිටින්නේ” යෑයි සඳහන් කළේය.

තම දේශනයේදී ඉරානයට ද පහරදුන් ජනාධිපති ට්‍රම්ප් ‘ටෙහෙරාන්’ පාලනය විග්‍රහ කළේ “මැද පෙරදිග අස්‌ථාවර කරන දූෂිත ආඥාදායකත්වයක්‌” ලෙසයි.

ඉරානය සම්බන්ධයෙන් තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමෙරිකානු නායකයා ත්‍රස්‌තවාදයට දෙන සහයෝගය නතර කරන මෙන් ‘ටෙහෙරාන්’ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. බරක්‌ ඔබාමා පාලන සමයේදී ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම ද ඔහුගේ විවේචනයට ලක්‌විය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් එක්‌සත් ජනපදයට “ඒක පාර්ශ්වීය ගිවිසුම් වලට” ඇතුළු වීමට හෝ ඒවායේ වාසි ලබාගැනීමට නොහැකි යෑයි සඳහන් කළේය.

වෙනිසියුලාව පිළිබඳව සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආණ්‌ඩුව වාමාංශික ආණ්‌ඩුවක්‌ යෑයි හඳුන්වා දෙමින් එය ඇමෙරිකාවේ සතුරු රාජ්‍යයක්‌ හැටියට නම් කළේය.

අනුමත කළ නොහැකි වෙනිසියුලා පාලනය ඉදිරියේ එක්‌සත් ජනපදයට බලාසිටිය නොහැකි බවත් ඔහු කියා සිටියේය.

‘සමාජවාදය මතවාදයක්‌’ පමණක්‌ හැටියට විග්‍රහ කරමින් එය හෙළා දුටු ඩොනල්ඩ් ට්‍රම්ප් එමඟින් අත්වුණේ සන්තාපය – විනාශය සහ අසාර්ථකභාවය පමණක්‌ බවත් සඳහන් කළේය.

RSL

Related Posts