විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි

Spread the love

දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම විමතිය දනවයි. ලංකාවේ ජනාධිපතිවරයාට නීතී සෑදීමේ බලය ලබා දෙන යෝජනා 20හි අඩංගුය. ජනමත විචාරණයක් මගින් හදිසි පනත් සම්මත කිරීමේ අයිතිය, පාර්ලිමේන්තු සභාවේ සාමාජිකන් ඉවත් කිරීම හා පත් කිරීමේ බලය, පාර්ලිමේන්තුව පත්වී වසරක් ගෙවී ගිය විට ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ආදී පාර්ලිමේන්තුව අඩපණ කරන බලතල එදා හිට්ලර් තමන් හඳුන්වාදුන් පනතට වඩා වැඩි වෙනසක් ඇතැයි කිව නොහැකිය.

20ට ජනවරමක් ලැබුණාද?

ලංකාවේ ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය එපා කියා 20 ගෙන ඒමට ජනතාවගෙන් අතිබහුතරය බලය ලබා දී ඇතිබව සෞභාග්‍යයේ ආණ්ඩුව කියයි. ඇතමුන් කියන්නේ යහපාලන ආන්ඩුවේ දුර්වල ක්‍රියාකරම් හේතුවෙන් ඉච්ඡාභංගත්වයට පත්වු ජනතාව නාධිපතිවරයාද සෞභාග්‍යයේ ආණ්ඩුව ද පිහිටුවීමට ඉතසිතින් කටයුතු කළ බවය. එය සැබෑවකි. නමුත් ප්‍රශ්නය වන්නේ එකී ජනතාව 20 හි සඳහන් ආකාරයට, රටේ නීතියට ඉහළින් සිටින රජකු ව්‍යව්‍යවස්ථානුකූලවම තනන්නට අවසර දුන්නාද යන්නය

පසුගිය ජනාධිපතිවරණයේදී ‌සහ මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය ලෙස භාවිතා කෙරුණු “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන එන බව පමණි. ඒ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන බව ද සඳහන්ය. විසි වන සංශෝධනයක් ගැන ඉඟියක් හෝ නැත. මැතිවරණ වේදිකාවේදී, තමන්ද අත ඔසවා සම්මත කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බව ප්‍රකාශ කළ ද යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනයක කුමක් අඩංගු වන්නේද යන්න කීවේ නැති තරම්ය. උදාහරණයක් ලෙස, රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විගණනයෙන් ඉවත් කරන බව කීවාද? ඇමති මණ්ඩලයට පනවා ඇති සීමාව ඉවත් කොට කැමති තරම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට බලය ලබා ගන්නා බව කීවාද? ජනාධිපතිවරයා ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටීය යන වගන්තිය ඉවත් කරන බව කීවාද? නැත. ඒසේ කීවා නම්, ජනතාව එය අනුමත කරනු ඇත්ද? නැත. නව ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ජනතාව අනුමත කොට තිබේ යැයි තර්ක කළ හැකිය. එහෙත්, යෝජිත සංශෝධනවලට ජනතා වරමක් ඇතැයි තර්ක කළ නොහැකිය. සැබවින්ම, මේ සිදු වන්නේ ජනතාව විශ්වාසයෙන් ලබා දුන් ජනවරමක් විකෘති ලෙස අර්ථ ගැන්වීමේ තැතකි.

ව්‍යවස්ථාවෙන් රජුන් තැනීම

නුතන ලෝකය තුළ එවැනි ව්‍යවස්ථාදායක රජුන් ගොඩනැගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බහුල නොවෙතත් ප්‍රචලිත ව්‍යවස්ථා කීපයකි. එකක් වන්නේ මේ තාක් වැඩිම කාලයක් බලය රඳවා ගන්නට සමත් වූ උතුරු කොරියානු ව්‍යවස්ථාවයි. දෙවැන්න ඊජිප්තු ව්‍යවස්ථාවයි. තුන්වන තැනට දමන්නට වන්නේ චීන ව්‍යවස්ථාවයි. එලෙස සංකේන්ද්‍රණය වූ විධායක බලය හේතුවෙන් රටේ සංවර්ධනයට ඇති වූ දායකත්වය සලකා බැලු කළ චීනය ඉදිරියෙන් සිටිය ද අදටත් උතුරු කොරියාව දුප්පත්කමේ අගාධයේ සිටින රටකි. රටට න්‍යෂ්ටික අවි තිබුණාට උතුරු කොරියාවේ බහුතර ජනතාව ජීවත්වන්නේ බඩින් භාගයක් ආහාර ගනිමින් ගාල් කර ජීවත්වන ගව රැලක් ලෙසටය. ඊජිප්තුව ගතහොත් එහි ඇත්තේ අමුතුම පාලනයකි. ඉන්නේ අධිබලැති ජනාධිපති වරයෙකි. ඔහු ක්‍රියා කරන්නේ මිලිටරියේ ඕනෑ එපාකම් අනුවය. පාර්ලිමේන්තුව කියා දෙයක් තිබුණ ද එය නීති හදන්නේ එරට ජනපතිට අවැසි ලෙසටය.

ජේ. ආර්. ගෙනා අධි බල ජනාධිපතිමොඩලය

රටක සංවර්ධනය සහ ආරක්ෂාව සඳහා අධිබලැති විධායකයක් අවශ්‍ය වන්නේ යයි සිතන්නේ සහ තර්ක කරන්නේ ලෝකය පිලිබඳ තතු නොදන්නෝම වන්නේය. ලෝකයේ දැනට පවතින කාර්යක්ෂතම ආරක්ෂාව පවතින ජාතික රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි. එම රට පාලනය කරන්නේ අගමැති වරයකු ප්‍රධාන කැබිනට් මන්ඩලයක් මගිනි. ඊශ්‍රායලය ආරක්ෂාවෙන් මෙන්ම සංවර්ධනයෙන්ද අගතැන්පත් රටකි. අගමැති ක්‍රමයක් සහිතව ලෝකය තුළ සංවර්ධනය අතින්ද ආරක්ෂාව අතින්ද බැබලෙන තවත් රටක්වන්නේ ජපානයයි. ජපානයට අඩුම තරමින් ආරක්ෂක හමුදාවක් පවත්වාගෙන යාමට පවා එරට ව්‍යවස්ථාවෙන්ම තහංචි පනවා තිබේ. ඉන්දියාව දැවැන්ත රටකි. එය දුවවන්නේ ද අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලයක් මගිනි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවතින ලොව විශාලතම රට එයයි.

රටක් සංවර්ධනය කිරීම සඳහා අධිබලැති විධායක බලයක් අවශ්‍යවන්නේ යයි කියන තර්කය අප උකහා ගෙන තිබෙන්න නැගෙනහිර ආසියානු රටවල සිදු වු සංවර්ධනය දෙස බලමිනි. අද වන විට එය අවුරුදු පනහක් පැරණි තර්කයක් බව කිව යුතුව තිබේ. මෙම තර්කය ලංකාවට පළමුව ආනයනය කරන ලද්දේ ජේ ආර් ජයවර්ධන විසිනි. ඒ සඳහා ඔහු 78 ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේය. එය ප්‍රංශ අමරිකානු හා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා ආකෘතීන්ගේ සංකලනයකිනි. එමගින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළ පිළිගත් බල විභේදනය කිරීමේ නියාමය නග්න ලෙස කඩ කර තිබුණි.

ප්‍රංශ දාර්ශනිකයකුවු මොන්ටෙස්ක්‍යු පවසා තිබුණේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීමට නම් රාජ්‍යයේ ප්‍රධාන අවයව තුන වන ව්‍යවස්ථාදායකය, විධායකය, හා අධිකරණය එකිනෙකට ස්වාධීනව පැවතිය යුතු බවත් එක් අවයවයක් අනෙක් අවයවය මත සම්බන්ධීකරණ හා අධීක්ෂණ කාර්යක් සිදු කළ යුතු බවත්ය. ආණ්ඩුක්‍රම නීතියේ සහ දේශපාලන විද්‍යාවේ එන තුලනය හා සංවරණය ඉදිරියට එන්නේ මෙම සංකල්පය මත පිහිටාය. ඕනෑම රටක මෙම සමතුලිතතාව බිඳ වැටුණු විට සමාජය අස්ථාවර වන්නේය. මේ සඳහා වන කදිම න්‍යායික තර්කනය ගොඩ නඟා තිබෙනුයේ 1947 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය මගිනි. එමගින් කියැවෙනුයේ රටක නීතිය මගින් මානව හිමිකම් සුරැකීමට අපොහොසත් වේ නම් මිනිසුන් එම නීතිය හෝ ක්‍රමයට එරෙහිව කැරලි ගැසීමට පෙලඹෙන බවය.

ඒ පිළිබඳව කදිම උදාහරණය සපයන්නේ ද ජේ ආර් යුගයයි. ඔහු ‘ගැහැණියක පිරිමියකු කිරීමට පමණක් නොහැකි තරම්’ බලය සියතට ගත්තද බලාපොරොත්තු වූ වේගවත් සංවර්ධනය ලබා ගැනීමට හැකි නොවුනේය. ඒ වෙනුවට, උතුරේ ද දකුණේ ද කැරලි දෙකක් හට ගත්තේය. වෘත්තීය සමිති අරගල ඇති වී කාර්මික සාමය අඩපණ වුයේය. දීර්ඝ කාලයක් සමාජය තුළ කතා බහට ලක්ව තිබු අධි බලැති විධායකයක් රටට හිතකර නොවන්නේය යන තර්කය දේශපාලන සටන් පාඨයක් වූයේ 1994 සිට ඉතිහාසයෙන් ලැබු පාඩම්වලිනි. මෙරටට නැගෙනහිර ආසියාවේ අත්කරගත් සංවර්ධනය එනම් ප්‍රජාතන්ත්‍රවාදය හා මානවහිමිකම් මරා ලබා ගන්නා සංවර්ධනය පිලිබඳ මොඩලය නොසරිලන බව විනාෂ වූ අතිමහත් භෞතික හා මානව සම්පත් හමුවේ ඒත්තු ගැනීම නිසාය. ආණ්ඩුක්‍රමයට 17 වන සහ 19 වන සංශෝධන ගෙන ඒම පසුපස තිබුණු චින්තනය නම්, එකී අධිබල මොඩලය මෙරටට විනාෂය මිස සුගතිය නොගෙන එන බව පිළිබඳව තිබූ අවබෝධයයි.

අවනීතියට පාර කැපීමක්

සම්මත කෙරුණු 19 සංශෝදනය තුළ පැවති මෙම තුලනාත්මක ගුණය, 20 වන සංශෝදනය මගින් පරාජය කරන්නට උත්සාහ දරන්නේ කාර්යක්ෂම හා ශක්තිමත් විධායක ජනාධිපති වරයකු ගොඩනඟන්නට නම්, මේ පරස්පර විසඳා ගත යුතුය. පළමු පරස්පරය නම් ව්‍යවස්ථාවේ 33(1) වගන්තිය ඉවත් කිරීමයි. ඉන් කියවෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රමය රකින්නට, සමාජ ඒකාග්‍රතාවය රකින්නට, ව්‍යවස්ථාවේ සඳහන් තුලන හා සංවරණ ක්‍රම රකින්නට, හා නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වන්නට වගකීම දරන බවයි. මේවා වගකීම්වලින් ජනාධිපතිවරයා නිදහස් කර තිබෙන්නේ කුමක් සඳහා ද? ඒ බලතල හා වගකීම් අතහැර සුපිරි සංවර්ධනය ලබා ගත හැකිද? දෙවන පරස්පරය නම්, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් සහ විගණකාධිපතිවරයා පත්කිරීම හා ඉවත් කිරීම ජනාධිපතිවරයා අතට පත් කරන්නේ ඇයිද යන්නයි. අධිබල සංවර්ධනයට මේ නීතිය සහ විගණනය තමා යටතට ගැනීම අවශ්‍ය ද?

යෝජිත 20 සංශෝදනය හරහා දැවැන්තම ප්‍රහාරය එල්ලවීමට ඉඩ තිබෙන්නේ රාජ්‍ය පොදු මූල්‍ය පරිපාලන පිලිවෙතටය. එය අගමැතිවරයාගේ බලතල අඩුවීමට හෝ ජනාධිපතිට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරීමට ඇති අයිතිය නැතිවීමට වඩා රටට හා සමාජයට ප්‍රබලව දැනෙනු ඇත.

ගානක් මිම්මක් නැති රටක්

ගඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕනෑ යැයි කතාවක් තිබේ. 20 සංශෝදනයට අදාල ගැසට් පත්‍රය හොඳින් කියවන්නකුට විගණකාධිපතිවරයා ද ඔහු ගේ විගණක සේවය ද ස්වාධීන මූල්‍ය පාලනයකට අවැසි අනෙක් උපාංග ද බිඳ දමා රාජ්‍ය විගණනය දේශපාලඥයන්ගේ බලයට නතු කිරීමට කටයුතු යොදා ඇතිබව හොඳින් පැහැදිළි වන්නේය. එහි පළමු පියවර වී ඇත්තේ 20 සංශෝධනය මගින් විඝණාකාධිපති ජනාධිපතිගේ අනුකම්පාව යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරියකු බවට පත් කිරීමය. යෝජිත 20 සංශෝධනයේ ඇති 6, 31, 32 සිට 39, 40, 54 සහ 55 යෝජනාවලින් ඒ බව මැනවින් පැහැදිළි වෙයි.

ඒවායින්, 6 වන යෝජනාව කියන්නේ එතෙක් ස්වාධීන තනතුරක්ව තිබු විගණකාධිපතිවරයා ජනාධිපතිගේ අනුකම්පාව හා අභිමතය මත පත් කිරීම හා ඉවත් කිරීම සිදුකරන බවය. එසේම එම තනතුරට පුද්ගලයකු පත් කිරීමේදී ඔහු හෝ ඇයගේ පරිචය සුදුසුකම් අනවශ්ය බව 31 වන යෝජනාවේ හරයයි.

විසිවන සංශෝධනයේ 40 යෝජනාව මගින් කියන්නේ විගණකාධිපතිගේ විගණන වපසරිය අඩුකරන බවය. එනම් ජනපති කාර්යාලය ද අගමැති කාර්යාලය ද රාජ්‍ය සමාගම්ද රාජ්‍ය විගණනයෙන් ඉවත් කරන බවය. යෝජනා 54 හා 55 කියන්නේ ජාතික ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන බවය.

මේ යෝජනා සමස්තය මගින් කියවෙන්නේ ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ දැනට පාර්ලිමේන්තුව සතුව ඇතැයි පිළිගෙන ඇති ශ්‍රී ලංකා ජනරජයේ මූල්‍ය ස්වාධිපත්‍ය (fiscal sovereignty) පාර්ලිමේන්තුවෙන් ගලවා, ජනාධිපති යටතට ගන්නට බව මනාව පැහැදිළි වන්නේය.

ප්‍රසම්පාදන කොමිසමක් නැති කලට නිසි පටිපාටි අනුගමනය නොකරන ටෙන්ඩර් දෙනවාද නැද්ද මින් පසුව තීරණය කරනු ඇත්තේ දේශපාලකයාය. නිසි ක්‍රමවේද අනුගමනය කරන රාජ්‍ය ආයතන නොවේ. එම තීන්දු රට ඉතා වේගයෙන් සංවර්ධනය කිරීමට ඉවහල් වන තීන්දු ද නැද්ද යන්න පිලිබඳ අනාගතය තීරණය කරනු ඇත. කුමන චේතනාවකින් සිදු කළ ද 20 මගින් වංචාවට දුෂණයට සානුබල සපයන පරිසරයක් ඇති වීම බව නම් ලංකාවේ හැටි දන්නා ජනතාවට නොවකිවමනාය.

හයෙන් පහක බලයක් ලැබූ ජේ.ආර්. ආණ්ඩුව වසර දෙකක් තුළ දැඩි ජනතා අප්‍රසාදයට ලක් වූයේ ද මෙවැනිම අධිබල ව්‍යවස්ථා නිර්මාණය සහ තති බල පාලනයක් හේතුවෙන් බව කණගාටුවෙන් වුව ද සිහිපත් කළ යුතු වේ.

දේශපාලන කණ්නාඩි පළඳින්නේ නැතිව මේ උදා වී ඇති අභියෝගය දෙස බැලීමට අපට හැකි විය යුතුය. මෙම විසි වන සංශෝධනය සම්මත වුවහොත් ඇති අවදානම වෙනදා මෙන් නොවේ. 1978 ව්‍යවස්ථාව මෙන් අපට සදාකල් දුක් විඳින්නට වන කරුමයක ඇරඹුමකි.

නීතිඥ ශිරාල් ලක්තිලක

උපුටා ගැනීම: ලංකාදීප

RSL

Related Posts