බුදුන්ටත් ගල් පෙරලුවා, මමත් හොඳ වැඩක් කරන්න යද්දී බාධා කරනවා

Spread the love

එදා බුදුරජාණන්වහන්සේ සමාජයට අවිහිංසාවාදීව යහපත් දේවල් කරද්දීත් ගල් පෙරලූ අය සිටි බවත්, අද තමාද යහපත් දේවල් සිදුකරන්නට යද්දි ඒවාට අකුල් හෙළන බාධා කරන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නීතිපතිවරයා විසින් තමා වෙත දන්වා තිබෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති, රට වෙනුවෙන් එකට සිටිමු, ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැගෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය.

පසුගිය 29 වනදා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු , රට වෙනුවෙන් එකට සිටිමු, හය වන වැඩසටහන දින 06 ක් පුරා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර තුන් ලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සලසමින් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් හාරදහසකට අධික සංඛ්‍යාව වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 123කි.

අද දින ද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙ ප්‍රතිලාභ රැසක් බෙදාදීම සිදු වූ අතර, ගම රැකුම, සංවිධාන ලියාපදිංචි සහතික පත් ප්‍රදානය, සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 02 බැගින් වූ චෙක්පත් ප්‍රදානය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිරිය ණය ප්‍රදානය, කෘෂිකර්ම හා ගොවිජන මණ්ඩලයේ ගොවි විශ්‍රාම වැටුප් පොත් ප්‍රදානය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සදහා ණය ප්‍රදානය, දරුවන් සුරකිමු, වැඩසටහන යටතේ පාසල් උපකරණ කට්ටල ප්‍රදානය, කලායතන වෙනුවෙන් ආධාර පිරිනැමීම, ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය, රණවිරු සේවා අධිකාරිය මගින් පූර්ණ නිවාස ප්‍රතිලාභ ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ඒ අතර වෙයි.