මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, දූෂකයින් ඇතුළු දරුණු අපරාධකරුවන් එරෙහි මරණ දඬුවම අහෝසි කිරීමේ පනත මැතිසබයට..

Spread the love

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, දූෂකයින් ඇතුළු සියලුම දරුණු අපරාධකරුවන්ව පණවන මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ඊට ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ඊයේ (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. පෞද්ගලික මන්ත‍්‍රී යෝජනා යටතේ මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ඉදිරි දිනක විවාදයට ගෙන සම්මත කර ගන්නා බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කථානායකවරයාට පැවසීය.

එම පනත මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත ලෙස හඳුන්වා දී ඇත.

මරණ දණ්ඩනය නියම කිරීම සහ මරණ දඬුවමින් දඬුවම් කිරීම අදාළ පනත ක‍්‍රියාත්මක වීමෙන් පසුව, ජීවිතාන්තය දක්වා සිර දඬුවමින් දඬුවම් කිරීම ලෙස සංශෝධනය කර තිබේ.

යම් පුද්ගලයකුට මරණ දණ්ඩනය නියම කර තිබේ නම් එම පුද්ගලයා එම වරද සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට නියම වූ පුද්ගලයකු ලෙස සලකා ඇත.

ඊට අමතරව මරණ දඬුවමක් දිය හැකි වරදක් කර ඇති පුද්ගලයකුට දිය හැක්කේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පමණක් වන ලෙසට වගන්ති කිහිපයකට පමණක් සීමා වන ලෙස මෙම පනත සකස් කොට තිබේ.

මෙම පනත් කෙටුම්පතට අදාළ යෝජනාව රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා විසින් සථිර කරනු ලැබීය.

මරණ දණ්ඩනය දීම අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් ගෙනවිත් එය සම්මත කළ හොත් එම දිනය ජාතික ශෝක දිනයක් වන බවට මීට පෙර ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක්ද කර තිබිණි.