“මෙතන තිබුණේ වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මානුෂීය විසදුමක් ලබාදෙන්න අද අපට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, කබීර් හෂීම් මැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට ස්තුතිවන්ත වියයුතුයි. මේ අහිංසක ජනතාවගේ ජීවන මට්ටම දැකලා තමයි අපි ඉල්ලීමක් කළේ ඔවුන්ට සහනයක් ලබාදෙන්න කියලා. මේ විසදුම මීට කලින් ලබාදුන්නානම්, අද මේ ගැටළුකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. ඇතිවෙලා තිබු ගැටළුවට අද ස්ථිර විසදුමක් ලැබුණා. දැන් බයෙන් ජීවත්විය යුතු නැහැ. තමාට තමාගේම කියල ජීවත් වෙන්න, අලංකාර නිවසක් අද රජයෙන් ලැබිලා තිබෙනවා. මේ තුළින් අපි රටේ සංවර්ධනයට දායක වියයුතුයි. ඒ ආකාරයෙන් තමයි රටක් ගොඩනැගිය යුත්තේ. එදා මේ ආකාරයෙන් ඉල්ලීම් කලානම් සුදු වෑන් එකක යන්න තමයි වෙන්නේ. මෙන්න මේක තමයි අද ඇතිවෙලා තිබෙන වෙනස. අද ඛනිජ තෙල් සංස්ථාවේ ලේකම්තුමාත් මමත් මෙතනට පැමිණිලා, එදා මේ අහිංසක ජනතාව කළ ඉල්ලීමට රජයෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය ජනතාව වෙත ලබාදුන්නා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු තෙල් නල එළීමේදී ඒ අසල ජීවත් වූ ජනතාව සම්බන්ධයෙන් ඇතිවී තිබු ගැටලුකාරී තත්ත්වයට විසදුම් ලබාදීම සදහා බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවැසියන් හමුවීමට පැමිණි අවස්ථාවේදී අමාත්‍ය කරුණානායක මහතා මේ බව අවධාරණය කළේය. අදාළ තෙල් නළය එළීමෙන් නිවාස 387 ක් අහිමි වන අතර ඔවුන් වෙනුවෙන් නිවාස ලබාදීම සදහා කැබිනට් මණ්ඩලය විසින් රු. මිලියන 170 ක් සදහා අනුමැතිය ලබාදී ඇත. නමුත් මේ වනතුරුම ඒ මුදලින් අදාළ ජනතාවගේ නිවාස ගැටලුවට විසදීමක් ලබාදී නොතිබුණ අතර අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යවරයා සහ ඛනිජ තෙල් සංස්ථාවේ ලේකම්වරයා විසින් එම ජනතාව වෙත නව නිවාස ලබාදීම සිදුකරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“රටක් දියුණූ කරන්න විනයක් අවශ්‍යයි. ප්‍රශ්නයක් ඇතිවන තුරු බලන් ඉදලා, ඒ ප්රශ්නය පසුපස යන එක නෙමෙයි කරන්න ඕන. විනය තුළින් අපි ජනතාවට උදව් කළ යුතුයි. ඒක තමයි සැබෑ නායකත්වය. අභියෝග වලට බය වෙන්න ඕන නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදන්න පුළුවන්. බ්ලූමැන්ඩල් ජනතාව සහ ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් මේ ඇතිවූ ප්රශ්නය තුළින් ඒ තත්ත්වය පැහැදිළි වුනා. ඉදිරියේදීත් අපිට ඕනෑම ප්‍රශ්නයකට මුහුණදිය හැකියි. ඒ තුළින් අපි රට සංවර්ධනය කරමු. අපිට රටක් අවශ්‍යයි. රටක් හදන්න විනයක් ඕන. ඒ විනය තුළින් මේ සිංහල බෞද්ධ රටේ දෙමල, හින්දු, මුස්ලිම්, මැලේ, කතෝලික, ඉස්ලාම් ආදි සැම ජාතියකම සෑම ආගමකම ජනතාවට එකට ජීවත්විය හැකි මට්ටමේ තත්ත්වයක් උදාකළ යුතුයි “යැයි පැවසීය.
මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් කරුණානායක මහතා,
” තේරීම් කාරක සභාව කියන්නේ සංදර්ශනාත්මක කමිටුවක් නොවෙයි. ඒ තුළින් සිදුකරන්නේ ජනතාව වෙනුවෙන්, නිර්පාකෂිකව කරුණූ සොයබලා කටයුතු කිරීමයි. මේ තුළින් කාවවත් හංවඩු ගැසීමක් සිදුකරන්නේ නැහැ. එළඹෙන ජනාධිපතිවරණය සදහා අපි පක්ෂය තුළින් ජයග්‍රහණය කළහැකි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. තවමත් අපි ඒ පුද්ගලයා නම් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම ඒකරාශිවෙලා පොදු තීරණයක් මතින් තමයි ජනාධිපති අපේක්ෂයා නම් කරන්නේ. මේවනවිට ඉදිරිපත්වී ඇති නම් කිසිවක් පක්ෂය තුළින් කිසිසේත්ම සම්මත වෙලා නැහැ. ඒ වගේම මේ ආකාරයෙන් නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගතයුතුයි ” යැයි පැවසීය.