තව්හිද් ජමාත් ත්‍රස්තයින් පණ පිටින් අත්අඩංගුවට ගත් මෙහෙයුම..!
- RSL
- June 16, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
සෞදි අරාබි පොලිසිය මගින් එරටදී අත්අඩංගුවට ගෙන සිටි ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා බව කියන මොහොමඩ් මිල්හාන් හෙවත් අබු සීලන් නමැත්තා ඇතුළු එම සංවිධානයේ ත්රස්තවාදීහු පස්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (14) අලුයම ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.
සෞදි අරාබි පොලිස් අත්අඩංගුවේ පසු වූ ත්රස්තවාදීන් පස්දෙනා ගෙන ඒම සඳහා මීට දින කීපයකට උඩදී එහි ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායම ඊයේ අලුයම 4.30 ට පමණ මොවුන් රැගෙන නැවත මෙරටට පැමිණියහ.
මෙහිදී අත්අඩංගුවට ගෙන සිටින ත්රස්තවාදීන් අතර මොහොමඩ් මිල්හාන්, එම්. ඒ. මොහොමඩ් විලා, ඒ අබුසාලි, එච්. අයි. එම්. ස්මයිල්, එම්. එච්. එම්. ෂාහාවස් ෂබ්රි යන අය සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
කටුනායක ගවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිලධාරීන් විසින් මෙම ත්රස්තවාදීන් පස්දෙනා සිය භාරයට ගන්නා ලද අතර පසුව ඔවුන් කොළඹට රැගෙන ඒමට කටයුතු කර ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් මිල්හාන් තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ සන්නද්ධ අංශයට නායකත්වය දෙමින් විවිධ ප්‍රහාර මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
ඉකුත් වසරේ නොවැම්බර් මස 30 වැනිදා මඩකලපුව වව්නතිව් පොලිස් මුරපළේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කර ඔවුන් සතු ටී 56 ගිනි අවි රැගෙන ගොස් තිබුණ මිල්හාන් ඇතුළු කණ්ඩායම විසින්ය.
මාවනැල්ල ප්‍රදේශයේ විහාරස්ථානවල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම වනාතවිල්ලුවේ ත්‍රස්ත කඳවුර පිළිබඳ තොරතුරු හෙළි කළ මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් නප්ලීම්ට වෙඩි තබා බරපතළ තුවාල සිදු කරනු ලැබුවේද මිල්හාන් විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.
කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මිල්හාන් තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ මුල් සාමාජිකයෙකි. අවි ආයුධ පරිහරණය කිරීම බෝම්බ නිෂ්පාදනය ඇතුළු විවිධ ප්‍රහාර එල්ල කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා සිටින මිල්හාන් විදේශවලදී පවා සන්නද්ධ පුහුණුව ලැබූ අයෙකි.
සහරාන් ඇතුළු ත්රස්තවාදීන් පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීමේ සාමාජිකයකු ලෙස මිල්හාන් කටයුතු කර ඇති බවද හෙළිවී ඇත.
මෙම ප්‍රහාර මාලාව සැලසුම් කිරීමෙන් පසු මිල්හාන් සිය බිරිඳ පවුලේ ඥතීන් සහ මිතුරන් පිරිසක් සමග මක්කම වන්දනාවේ ගොස් ඇත්තේ ප්‍රහාරය එල්ල කිරීමට දින 05 කට උඩදී එනම් අප්‍රේල් මස 16 වැනිදාය.
ප්‍රහාර එල්ල වීමෙන් පසු මිල්හාන් ද අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ විමර්ශන පැවැත්වූ අතර ඔහු මක්කම වන්දනාවේ ගොස් ඇති බව හෙළි විය.
මිල්හාන් ඇතුළු පිරිස අප්‍රේල් 29 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව හෙළිකරගත් බුද්ධි අංශ ඔහු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටියහ. එහෙත් මිල්හාන් සිය පවුලේ ඥතීන් සමග 29 වැනිදා ගුවන්තොටුපළ පැමිණ ඇති අතර පසුව ඔහු හොර රහසේම ඥතීන්ගෙන් මිදී සැඟවී ඇත.
මිල්හාන් සෞදි අරාබි ගුවන් තොටුපළේදී අතුරුදන් වූ බව මෙරට බුද්ධි අංශ ඒ මොහොතේම සොයාගත්හ. පසුව බුද්ධි අංශ ජාත්‍යන්තර පොලිසිය හරහා සෞදි අරාබි පොලිසිය වෙත මිල්හාන් පිළිබඳව දැනුම් දී ඔහු වහාම අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ සෞදි අරාබි පොලිසිය ගුවන් තොටුපළ වටලා කළ මෙහෙයුමකදී මිල්හාන් කොටු කර ගැනීමට හැකි විය.
සෞදි අරාබි පොලිසිය පසුව කළ විමර්ශනවලදී මිල්හාන් සමග සම්බන්ධතා පවත්වමින් එරට රැඳී සිටි තවත් ත්රස්තවාදීන් සිව් දෙනකුද අත්අඩංගුවට ගත්හ.
මෙම ත්රස්තවාදීන්ට එරෙහිව එරට සිදුකළ නීතිමය කටයුතුවලින් පසු ඔවුන් පෙරේදා එරටින් පිටුවහල් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් භාරයට පත් කරමින්ය.
-දිවයින-

