පුරා දශක දෙක හමාරක කාලයක් එක්සත් ජාතික පක්ෂයට අඛණ්ඩව නායකත්වයෙන් දෙමින් ඒ වසර 25 ක කාලය තුල අවස්ථා දෙකකදී වසර 6 ක කාලයක් අගමැතිධුරයක් සමඟින් ආණ්ඩුකර ඇති එජාපයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව ඉනිමේ තිස්වසර සම්පූර්ණ කිරීමට ප්‍රථමව ඇති මීලඟ කඩ ඉමට පැමිණ ඇත. එනම් රනිල් වික්‍රමසිංහ තවත් පස්වසර නායකත්වය රැකගෙන නිරුපද්‍රිතව සිටීමට නම් ඔහු තවත් ජනාධිපතිවරණයක් පන්නා ගත යුතුය.
රනිල්ගේ මීලඟ ඒරාෂ්ටකය
රනිල් වික්‍රමසිංහට අනුව ජනාධිපතිවරණයක් යනු ජෝතිෂ්‍යය අනුව ඔහුට උදාවන ඒරාෂ්ටකයකි. ආගමක් දහමක් ගැන විශ්වාසයක් නොතිබුණද ඉන් පැන යෑමට ඔහු ලොව ඇති ඕනෑම මිත්යාදුෂ්ටියක් නොපැකිලිව සිදුකරයි. එහි සත්‍ය උදාහරණය අප පසුගියදා තිරුපති වන්දනාවේ ගොස් රනිල් රනින් තම බරේ හැටියට දෙවියන්ට කළ ගෙවීම්ය. රනිල්ට අනුව දැන් දෙවියන්ගේ වැඩේත් okayය. දැන් මීලඟට අවශ්‍ය තමා බේරී ඒරාෂ්ටකය පැනගැනීම වෙනුවන් එක්සත් ජාතික පාක්ෂිකයින්ට ඒ මොහොතට සතුටු විය හැකි අන්දමේ බිල්ලක් ලබාදීමය. ඔහු එජාපයේ අයෙක් නොවන ජයග්‍රහණය නොකළත් දින 45ක කාලයක් සඳහා ජයග්‍රාහී මානසිකත්වයක් ලබාදීමට හැකි අයෙක් නම් රනිල් අතිශයින්ම කැමතිය. මීට පෙර රනිල් වික්‍රමසිංහ 2010, 2015 දී මෙම ජනාධිපතිවරණ ඒරාෂ්ටක දෙක පන්නා ගැනීමට බිලි බෝයිලා ලෙස දැමූයේ එවක ජෙනරාල් සරත් ෆොන්සේකා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.
බිලි දීම කලාවක් නම් රනිල් එහි පිකාසෝය.
ඉන් සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂට බිලි වුණු අතර ඒ වෙනුවෙන් වසර කිහිපයක් ඔහු අපාදුක් වින්දේය. එහෙත් පූර්වයේ පිනකට මෛත්‍රීපාල සිරිසේන බිලි නොවී ජයගත්තේය. දැන් රනිල්ගේ මෙම කපටි උපාය සෑම දෙනාම දනිති. රනිල් වික්‍රමසිංහ මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අයෙක් භාවිතා නොකරන්නේ යම් හෙයකින් පාක්ෂිකයින් ඔහුව ජයග්‍රහණය කරවන ලදහොත් එසැනින් තමාට තම නායකත්වයද අහිමිවන නිසාවෙනි.
එම නිසා රනිල් තමාට අභියෝගයක් නොවන ඕනෑම පොදු අපේක්ෂකයෙකුට හෝ පොදු නොවන පාක්ෂිකයින් සතුටු කරවිය හැකි අපේක්ෂයෙකුට කැමතිය. ඉහත කරුණු සැලකීමේදී රනිල්ට කරු ජයසුරිය හෝ සජිත් ප්‍රේමදාසට අවස්ථාව ලබාදී තමා අතින් තම හිස ගසා ගැනීමට නොහැක. එහෙත් වෙනත් ඕනෑම අයෙකු තමා ජාමේ බේරාගැනීම වෙනුවෙන් රනිල් සූදානම්ය. නමුත් මෙවර රනිල් ජනපති මෛත්‍රී වැනි බලය ලබා කලක් යද්දී තමාට කරදර කරන, තම පාලනයෙන් මිදෙන අයෙකු තෝරාගන්නේ නැත.
මෛත්‍රී දිනුවොත් දිනුම් පැරදුනත් දිනුම්
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුගේ මෙවර තේරීමත් මෛත්‍රී බවයි. එහෙත් ඒ මෛත්‍රීපාල සිරිසේන නොව ඔහුගේම ප්‍රිය නීත්‍යයානුකූල බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියයි.
මී ලඟ ජනාධිපතිවරණයේ ජය පැරදුම හමුවේ රනිල්ට අභියෝගයකින් තොරව සිටිය හැක්කේ ඇය වැනි තමාට හානියක් නොවන චරිතයක් යෙදවූවොත් පමණක් බව ඔහු හොඳින්ම අවබෝධ කරගෙන ඇති බව මෙයින් පැහැදිලිය.
එජාපයට එදිරි කඳවුරෙන් එන චරිතයකට මුහුණදීමේ හොඳ ශක්තියක් මෛත්‍රී වික්‍රමසිංහ ඇති බව පොදුවේ ඒත්තු ගැන්විය හැක. එසේම ඇය ජනාධිපතිවරණයෙන් ජයගත හොත් ඇය කිසිදා තම ස්වාමිපුරුෂයා වන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට අභියෝග කරන්නේ නැත. මෙම කරුණු රනිල් වික්‍රමසිංහ තමාගේ නිර්නායකන් ලෙස සලකා මෙම තීරණය ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජනාධිපතිවරණයට ගෙන ඒම සඳහා වන සැලැස්ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ රනිල්ගේ අතිශය විශ්වාසවන්තයා වන සාගර රත්නායක අතින්වීමද සුවිශේෂීය.
රනිල්, ජනාධිපති අපේක්ෂකත්වයට මෛත්‍රී ගෙන එන මෙහෙයුමේ තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.