අලුත් විදියට සිතන අයට රවීගෙන් අවස්ථාවක්

Spread the love

සූර්ය පැනල සහ බැටරි නිෂ්පාදනය ඇතුළු සූර්ය විදුලිබල ක්‍ෂේත්‍රයට අවශ්‍ය උපකරණ නිෂ්පාදනයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයටද අවස්ථාවක් දෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි.

එම උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සහ සූර්ය විදුලි බල ක්‍ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අවශ්‍ය අදහස් හා යෝජනා පෙබරවාරි මස 15දා වන විට අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විවෘත ආරාධනාවක් කර තිබේ.

මේ උපකරණ ආනයනය කිරීම අවම කොට මෙරට ව්‍යවසායකයන්ට ඒ සඳහා අවස්ථාව දීමට තමා කටයුතු කරන බවත් ලැබෙන අදහස් හා යෝජනා මත රට වෙනුවෙන් සූර්ය නිෂ්පදනය සම්බන්ධයෙන් සකස් කිරීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙළ තීන්දු කළ හැකි බවද ඇමැතිවරයා කීවේය.

එසේම සූර්ය පැනල නිෂ්පාදනය සඳහා දැනුම සහ අවබෝධය සහිත පිරිස් මෙරට සිටින බවට වාර්තා වී ඇති හෙයින් තමා මේ පිළිබඳ අවධානය යොමු කළ බවද සූර්ය ශක්තිය වැනි ස්වාභාවික සම්පතක් උපයෝගි කරගනිමින් විදුලි උත්පාදනය කිරීම තවදුරටත් කාර්යක්ෂමව කරමින් එහි උපයෝගිතාව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනයටද අවධානය යොමු කළ යුතු යැයිද ඔහු පැවැසුවේය.

සූර්ය විදුලිබල ක්‍ෂේත්‍රය සඳහා පෞද්ගලික අංශය සහභාගි කරගැනීම තුළින් පාරිභෝගිකයාට අවම මිලකට විදුලි ජනනය කිරීමේ වැඩපිළිවෙළක් සැකසීටද මේ වන විට සාකච්ඡා කර ඇතැයිද හෙතෙම පැවැසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය විදුලිබල ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය.