“මහින්ද – දයාසිරි” ගැටුම ගැටගැසුණු හැටි සහ ඇඳුණු හැටි හෙළිවෙයි

Spread the love

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවසා ඇතැයි වාර්තාවේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේදීය.

තමන් විසින් ප්‍රශ්න හතරකට දෙන ලද පිළිතුරු එම ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් වෙනත් ප්‍රශ්න සමඟ අමුණා සියලුම විද්‍යුත් නාලිකා වලට මුදා හැර ඇති බවත් ඒවා විකාශය කර ඇත්තේ එම මාධ්‍ය නාලිකා වල වරදකින් නොව ඒවා මාධ්‍ය නාලිකා වලට ලබා දුන් එම ප‍්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් හිතාමතා සිදුකරන ලද සාහසික සංස්කරණය මගින් බව ද මහ ලේකම්වරයා කියා ඇත.

මේ සම්බන්ධයෙන් තමන් එම මාධ්‍යවේදියා අමතා දැඩි ලෙස දෝෂාරෝපණයක් කළ බවද පවසා ඇති දයාසිරි ජයසේකර මහලේකම්වරයා තමන් දිගින් දිගටම කටයුතු කළේ ශ‍්‍රීලනිප දෙපාර්ශවය එක් වීමටත් බිඳුණු සිත් සෑදීමටත් මිස පක්‍ෂය වෙන් කිරීමට භේද භින්න කිරීමට නොවන බව සඳහන් කර ඇත.

යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැතැයි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදකාරී අවස්ථාවක එහි මහලේකම් ධූරය භාරගැනීම අර්බුදයක් නොවේ දැයි මාධ්‍යවේදියා විසින් කළ විමසීමකට බවත් පසුව එය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට අමුණා සංස්කරණය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මෙම සිදුවීමක් කුමක්දැයි වේලාසනම විමසූ බවත් තමන් සිදුවීම ජනාධිපතිවරයාට පැහැදිලි කළ බවත් ජයසේකර එහිදී කියා ඇත.

කෙසේ නමුත් මේ සියල්ල සාවධානව අසා සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ‘දයාසිරි ජයසේකර මහතා දැන් මන්ත්‍රීවරයෙකු පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා නිසා වඩාත් පරිස්සමෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

RSL

Related Posts