බේරෙන්න බැරි තැන කරූටයි, විපක්ෂයටයි ජනපතිගෙන් තවත් බෝලයක්

Spread the love

තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙසට දිගින් දිගටම කරන ලද ඉල්ලීමට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කථානායක කරූ ජයසූරිය සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එතුමා හමුවීමට අවස්ථාවක් ලබාදී තිබිණ.

පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි.

එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප‍්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුන්නේ ය.

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර, ඡන්ද විමසීම මන්තී‍්‍රවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.

පාර්ලිමේන්තුවේ දී සම්මත කළේ යැයි කියන විශ්වාසභංගය තමන් පිළිනොගන්නා බවත් ඒ වෙනුවට වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කර විධිමත් ක්‍රමවේදයක් අනුව සම්මත කර ඉදිරිපත් කළහොත් කමන් එහිදී ව්‍යවස්ථානුකූල කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

නව විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන්නැයි ද ජනාධිපතිවරයා දන්වා ඇත.

කෙසේවෙතත් මෙම තත්ත්වය මත විශ්වාස භංගය විධිමත් ක‍්‍රමවේදයට ඉදිරිපත් කිරීමට නම් මුලින්ම කතානායකවරයාට සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීමටයි.

එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන අතර සභා නායක වරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කළ යුතුද වෙයි.

ඉන් අනතුරුව ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයට ඉදිරිපත් කල හැකි අතර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීමේදී ඊට ඇතුලත් කල හැක. විශ්වාස බංගය ගැන කටයුතු කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ යුතු අතර පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා විවාද කිරීම සඳහා ද සැලකිය යුතු දින ගණනක් ලබාදීමෙන් පසු ඡන්ද විමසීමට ගත හැක. පාර්ලිමේන්තුවේ විධිමත් පිළිගත් ක්‍රමවේදය වන්නේ එයයි. ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේද එම ක‍්‍රමයටයි.