හොංකොං බැංකු ගිණුමක මෙරට මුදලින් රුපියල් කෝටි 378ක් රඳවාගෙන සිටින බව කියන රාජපක්ෂ පවුලේ ඥාතියකු වන තිරු නඩේෂන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි.
එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ අදාළ බැංකු ගිණුම පිළිබඳ විමර්ශන කටයුතු 2016 අරඹා ඇති නමුත් අද වන තුරු එකී පරීක්ෂණ කටයුතු අඩාල වී ඇති බවය. මේ බැංකු ගිණුම පිළිබඳව දූෂණ විරෝධී හඬ හෙළි කළ තොරතුරු ඉකුත්දා අනාවරණය කර තිබිණි.
එවකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී විසින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට 2016 හොංකොං බලා පිටත් වූ බවත් එකී විමර්ශන කටයුතුවලටද වියදම් කර ඇත්තේ රජයේ මුදල් බැවින් වහාම මේ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතු බවත් සමරසිංහ මහතා අවධාරණය කළේය.
තමා සතු තොරතුරු හෙළිදරව් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ අදාළ රුපියල් කෝටි 378ට අමතරව අවස්ථා කිහිපයකදී සමාගම් හතරක් පුද්ගලයන් කිහිපදෙනකුට විශාල මුදල් ප්‍රමාණයක් බැංකුගත කර ඇති බවය.
ඒ අනුව Red ruth investments (Hd) සමාගමේ ගිණුම් හිමියන් තුන්දෙනකුටත්, World Diamond Services (ltd) සමාගමේ ගිණුම් හිමියන් දෙදෙනකුටත්, Sincere Enterprises සමාගමේ ගිණුම් හිමියන් තිදෙනකුටත්, Sincere Enterprise Group (ltd) සමාගමේ ගිණුම් හිමියන් දෙදෙනකුටත් තිරු නඩේෂන් මහතා විසින් මුදල් බැර කර තිබෙන බව ඒ මහතා සඳහන් කරයි.
සමරසිංහ මහතා පවසන පරිදි අදාළ සියලු මුදල් දළ වශයෙන් ගණනය කර බැලුවහොත් රුපියල් කෝටි 400කට ආසන්න බවය.
-මව්බිම-