මන්ත්‍රීවරුන් 55 දෙනකුට මසකට ලක්ෂ දෙකක දීමනාවක්

Spread the love

තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනකුට මාසිකව රුපියල් ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාවක් ලබාදීම දැඩිව හෙළාදකින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් සහ අනෙකුත් දීමනාවලට අමතරව තෝරාගත් මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මාසිකව සිදු කර ඇති බව කියන රුපියල් ලක්ෂ දෙකක හෝ ඊට ආසන්න ගෙවීම පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා ඉඩම් ‍හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුනේ මේ වසරේ මැයි මාස 28 වනදායි.

ඒ අනුව පසුගිය ජුනි 20 වනදා මන්ත්‍රීවරයා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ “රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු සඳහා පත් කර ඇති මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන පහසුකම් සලසාදීම වෙනුවෙන් එම ප්‍රවාහන දීමනාව ගෙවන බවයි.

2016 ජූනි 21 වැනි දින ගත් කැබිනට් තීරණයක් ප්‍රකාරව එම දීමනාව හිමි වු මන්ත්‍රීවරුන් 55 දෙනකුගේ නාම ලේඛනය ලේකම්වරයා විසින් නිකුත් කර තිබූණි.

එම ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩුවේ සිට ඉන් ඉවත්ව මේ වන විට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ද ඇතුළත්ය.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් සිදු කළ විමසීමේදි අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ඩි.එස්. මල්කාන්ති මහත්මියගෙන් ඒ පිළිබඳ විමසන ලෙසයි.