ප්‍රවීණ නාට්‍යවේදියෙකු වූ තිස්ස ගුණවර්ධනයන් දිවි සැරිය නිමා කරයි

Spread the love

කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට වයස අවුරුදු 85 වන වියේ පසු වූ ඔහු 60 දශකයේදී රන්තෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණය විය.

සිසිල දිනූ දෑත් ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය වූ අතර මෙම නාට්‍ය දෙකම එළිමහන් වේදිකාවල ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව අධ්‍යක්ෂණය කළ වාඩිය, ප්‍රසිද්ධ වේදිකාවේ වේදිකාගත කළ පළමු නාට්‍ය වේ.

දිගු නාට්‍ය 50 කට අධික සංඛ්‍යාවක් සහ කෙටි නාට්‍ය 150 කට අධික සංඛ්‍යාවක් තිස්ස ගුණවර්ධනයන් විසින් දේශීය වේදිකා නාට්‍ය කලාවට දායාද කරන්නේ පාසල් නාට්‍ය කලාවට ද නැවුම් ජීවියක් ලබාදෙමිනි.

1961 වසරේ සිට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ නාට්‍ය ආචාර්යවරයා ලෙස කටයුතු කළ ඔහු මෙරටට කලාශිල්පීන් රැසක් දායා ද කළේ ය.

විවිධ වයස් කාණ්ඩවලට අයත් තම ගෝල පරපුර සම්බන්ධ කරගනිමින් තිස්ස ගුණවර්ධනයන් අවසන්වරට අධ්‍යක්ෂණය කළේ, දුටුගැමුණු වේදිකා නාට්‍යයයි.

චිත්‍ර , මූර්ති සහ කැටයම් ශිල්පියෙකු ලෙස ද තිස්ස ගුණවර්ධනයන් මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළේ ය.