හිරේ යන්න බයේ කට්ටි පනින ගෝඨා ඇතුළු 7කට නොතීසි

Spread the love

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90ක මුදලක් අවභාවිත කළා යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළුසත් දෙනකුට ලබන සැප්තැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා සිල්වා මහත්මිය නොතීසි නිකුත් කළාය.

මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, සාමාන්‍යධිකාරි ගමඇති රාලලාගේ භද්‍රා උදුලාවතී කමලදාස, සුදම්මික කේමින්ද ආටිගල සමන් කුමාර, අබ්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි මදම්පෙරුම ආරච්චිලාගේ ශ්‍රී මතී මල්ලිකා කුමාරි සේනාධීර යන අයවලුන්ටයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පවරා ඇති මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නොතීසි නිකුත් කළාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පොලිස් පරීක්ෂක සංජීව ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර වැඩිදුර වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.

2017 නොවැම්බර් 20 වැනි දින නීතිපතිවරයා උපදෙස් ලබා දෙමින් ඉහත නම් සඳහන් පුද්ගලයන් කුමන්ත්‍රණය කිරීමේ පදනම මත ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් 48,563,929.06ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද සිදුකිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ආ) 102 සහ 388 වගන්ති සමඟ කියවිය යුතු 1982 අංක 12 දරන පොදු දේපළ පනත විෂයෙහිලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනතේ 5(01) වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට අනාවරණය වන බැවින් එකී වරද සිදු කිරීම සම්බන්ධයෙන් 1975 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ අදාළ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරන ලෙස දන්වා තිබූ බවත්. නීතිපතිතුමාගේ 2017 නොවැම්බර් 20 වැනි දින ලිපියේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට යන අවස්ථාවේදී නන්දසේන ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරනු ලැබූ බවත් ඒ අනුව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

එසේම අදාළ තහනම් නියෝගය උල්ලංඝනය නොවන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර සැකකරුවන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට නියම කර ඇති බැවින් එම උපදෙස් අනුව මෙලෙස නොතීසි නිකුත් කරන ලෙසට පැමිණිල්ල විසින් ඉල්ලා සිටියේය.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යන අය මෙම අපරාධය සිදුවූ කාලවකවානුව තුළ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය ප්‍රකාරව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා බවට පත්ව ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ.

එසේම 2013 වසරේ මැද භාගයේ පමණ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා යන අය කැඳවා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යන අය විසින් ඔහුගේ මවුපියන් සිහිවීම සඳහා වීරකැටිය මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය සහ ස්මාරකය ඉදිකිරීමට උපදෙස් ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවද ඉදිකිරීම සඳහා තෝරාගත් ඉඩම චමල් රාජපක්ෂ යන අයගේ හිමිකාරිත්වය ඇති ඉඩමක් බවට අනාවරණය වී ඇති බවද අදාළ වාර්තාවේ දක්වා ඇත.

2013 සැප්තැම්බර් 03 වැනි දින සංස්ථාවේ සභාපතිවරයා විසින් නාවික හමුදාපතිවරයා වෙත මිනිස් ශ්‍රමය ලබා ගැනීම සඳහා ලිපියකින් ඉල්ලීම් කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10ක මුදලක් සංස්ථාවෙන් ඉල්ලා ලිපියක් යොමුකර ඇති බවත් 2014 පෙබරවාරි 26 වැනිදා සංස්ථාවේ පැවැති 537 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා සාමාන්‍යාධිකාරි ශ්‍රී මතී මල්ලිකා කුමාරි සේනාධීර යන අයගේ සහ සභාපති ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වාගේ නිර්දේශ සහිතව රුපියල් 33,944,741.60ක මුදලක් සඳහා අනුමැතිය ලබාදී ඇති බව අදාළ වාර්තාවේ දක්වා ඇත.

මෙම සිද්ධියට අදාළව සංස්ථාව විසින් පවත්වාගෙන ගිය ගොනුවද භාරයට ගනිමින් පවත්වන ලද විමර්ශනවලදී ව්‍යාපෘතිය සඳහා කිසිදු ආකාරයේ අවබෝධතා ගිවිසුමක් අත්තිකාරම් ඉදිකිරීමේ ගිවිසුමක්, අත්තිකාරම් මුදල් භාර ගැනීමක්, බැංකු අණකර ලබා දීමක්. පියවරෙන් පියවර මුදල් අයකර ගැනීම අනුමත කාර්ය පටිපාටිමය පියවර මේ අවස්ථාවේදී අනුගමනය කර නොමැති බවත් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ව්‍යාපෘතිය සඳහා ගෙවීම් කටයුතු සිදුකිරීමේදී මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ගෙවීම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පැමිණිල්ල විසින් තවදුරටත් දක්වා තිබිණි.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉදිකරන ලද ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමට අදාළව එම සංස්ථාව විසින් දැරීමට අනුමත වී ඇති ඇස්තමේන්තු මුදල රුපියල් 33,944,741.60 වුවද මෙම අනුමත සීමාව ඉක්මවා කටයුතු කරමින් සංස්ථාව විසින් දරා ඇති මුළු මුදල රුපියල් 81,313,374.14ක මුදලක් බවට අනාවරණය වී ඇති බව පැමිණිල්ල විසින් දක්වා ඇත.

නඩුව යළිත් සැප්තැම්බර් 07 වැනිදා කැඳවීමට නියමිතය.

RSL

Related Posts