අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Spread the love

රුපියල් කෝටි 02 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අයවලුන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර ඇත.

ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 10 ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි 02 ක මුදලක් පසුගිය මැයි මස 03 වනදා පස්වරුවේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍රයකදී ලබා ගන්නා අවස්ථාවේ මොවුන් දෙදෙනා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබුණේය.

නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන් බව සඳහන්.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශයේ සාමාජිකයෙකු බව පැවසෙන පුද්ගලයෙකු විසින් පැමිණිලිකාර ඉන්දීය ජාතිකයාගේ කාර්යාලයට පැමිණ මෙම නඩුව සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති බවයි.

මෙය පරීක්ෂණවලට එල්ල කෙරුණු බලපෑමක් විය හැකි අතර පැමිණිලිකරු මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට සහ අල්ලස් කොමිසමට දැනුම් දී ඇති බව අල්ලස් කොමිසමේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.

ජායාරූප උපුටා ගැනීම: ලංකාදීප