මැතිවරණ නීතිය අද සිට අකුරටම ක්‍රියාත්මකයි
- RSL
- December 11, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Election, Police
- 0 Comments
මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මක වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සෘජුවම සහ නීතිපති උපදෙස් මත නඩු පැවරීමට පියවර ගන්නා බවයි.
සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධා වන අයුරින් කටයුතු කිරීම නීති විරෝධී වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාදීම රැස්වීම පවත්වන භුමියට පමණක් සීමා කර තිබේ.
එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි කාල සීමාව වන්නේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 වන තෙක් සිකුරාදා සහ සෙනසුරාදා දින වල උදෑසන 6.00 සිට පසුදා අළුයම 1.00 වන තෙක් සහ ඉරිදා උදෑසන 6.00 සිට මාධ්‍යම රාත්‍රී 12.00 තෙක් පමණක් වෙයි.
බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කළ හැක්කේ අපේක්ෂකයා ගමන් ගන්නා රථයේ සහ රැස්වීම් භූමියේ පමණක් බව සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
අද ආරම්භ වූ නාමයෝජනා බාරගැනීමේ පළමු අදියර ලබන 14 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් 21ක පැවැත්වෙන එම කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් දසදහසක් සේවයේ යොදවා තිබේ.
මේ අතර තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා ලබාදී තිබූ කාලය ලබන 22 වන දින දක්වා දීර්ඝ කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

