පහේ ශිෂ්‍යත්වය හපනියක් වූ දුලාංජලී ප්‍රේමරත්න ශිෂ්‍යාවට ජනපති අතින් ත්‍යාග
- RSL
- October 11, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Great 5 Scholarship, President Maithripala Sirisena
- 0 Comments
ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූවාය.
හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථීක අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත්වූ අතර, සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු නිමවනතුරු මසකට රුපියල් තුන්දහස බැගින් මුදලක් ගෙවීමට ද පොරොන්දු විය.
එමෙන්ම දුලාංජලී ශිෂ්‍යාව වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමට මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිතුමා වෙත පොරොන්දු විය. දුලාංජලී ශිෂ්‍යාවට වර්ෂයකට සරිලන පාසල් පොත් සහ ත්‍යාග රැසක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.
පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 45 ක් වන අතර, එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 96 කි. එදා මෙදා තුර කාලයේ මෙම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් එකම ශිෂ්‍යාව වන්නේ බී.ඩී. දුලාංජලී ප්‍රේමරත්නයි.
විදුහල්පති සෝමසිරි අත්තනායක, ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමී හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ද, දුලාංජලී මදුමාලී සුවියගේ මව ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

