සැලසුම් සහගත බැඳුම්කර මගඩිය සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (10) පිළිගත්තේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් පිළිගත්තේය.
කොමිසමට සහය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මෙම කරුණු පිළිගත්තේය.
එසේම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ ජනමාධ්‍ය වලින් යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පැවසීය.
ජාතික සේවක සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් වන සමන් කුමාර සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රධාන ගැනුම්කරු ලෙස පත් කළේ සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියාගේ ඉල්ලීමට යැයිද සෘජු ස්ථාන ගත කිරීමේ ක්‍රමවේදයට එරෙහිව ප්‍රාථමික ගැනුම්කරුවන් කළ පැමිණිලි සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළේ යැයිද ඒ මහතා පැවසීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන තමාගේ මිණිපිරියගේ උපන්දින උත්සවවලදී මෙන්ම ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ රැස්වීම්වලදීත් මුණ ගැසී ඇතැයි ඒ මහතා කීය.