මහේන්ද්‍රන් සැලසුම් සහගතව දුරකථන දෙකක මාස 11 ක දත්ත අතුරුදන් කර ඇති බව හෙළිවෙයි

Spread the love

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ජංගම දුරකථන දෙකේ මාස 11 ක පමණ කාලයකට අදාළ දත්ත අතුරුදන් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට අනාවරණය කළේය.

කොමිසමේ විමර්ශනයට ලක්‌වන කාලයට අදාළව මේ දත්ත අතුරුදන් වී ඇති බව ද මේ දුරකථන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට පෙර ඒ පිළිබඳව අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් කරුණු පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය බව ද කෝදාගොඩ මහතා කොමිසමට කීවේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් පැහැදිලි කර ගත යුතු ප්‍රශ්න කිහිපයක්‌ ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් ඊයේ (19 දා) ඒ මහතාට යොමුකර තිබූ අතර එහි අසා තිබූ එක්‌ ප්‍රශ්නයක්‌ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය බවට අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව කීවේය.

නිශ්චිතවම අදාළ දුරකථන දෙකේ දත්ත සොයාගැනීමට නොමැති බව තම තාක්‍ෂණික විශේෂඥයන් දන්වා ඇතැයි ද කෝaදාගොඩ මහතා ප්‍රකාශ කළේය. මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකථනයෙන් දත්ත අතුරුදන් වීමට අදාළ කරුණු ගැන ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ද සිදුවිය.

ඒ අවස්‌ථාවේ ඊට මැදිහත් වූ කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා කීවේ අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකථනයෙන් සැලකිය යුතු දත්ත ප්‍රමාණයක්‌ සොයාගැනීමට නැති නිසාත් එය කොමිසමේ මැන්ඩේට්‌ කාලයට අදාළ නිසාත් ඒ ගැන ඔහුගෙන් පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය බවයි.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අමතමින් දැන් ප්‍රශ්නය පැහැදිලි නේදැයි ප්‍රකාශ කළේය.

මේ අනුව අදාළ දත්ත සිය ජංගම දුරකථනවලින් අතුරුදන්වීම ගැන කොමිසමට කරුණු පැහැදිලි කරන ලෙස කොමිසම විසින් මහේන්ද්‍රන් මහතාට නියෝග කර ඇත.

RSL

Related Posts