බැඳුම්කර කොල්ලය යටගසන්න අර්ජුන් ඇලෝසියස්‌ සැලසුම් සහගතව බොරු කියලා

Spread the love

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය.

කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විසින් දිගින් දිගටම අසන ලද ප්‍රශ්න හමුවේ අර්ජුන් ඇලෝසියස්‌ මහතා කෝප් කමිටුවට පවසා ඇති දේ නිවැරදි නොවන බව පලිසේන මහතා පිළිගත්තේ එම ප්‍රශ්නයට පිළිතුරක්‌ නොදී යම් වේලාවක්‌ නිහඬව සිටීමෙන් පසුවය.

ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට විනාඩි දෙකක පමණ කාලයක්‌ ගතවූ බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා සාක්‍ෂිකරු එම පිළිතුර ලබාදීමෙන් පසු ප්‍රකාශ කළේය.

අර්ජුන් ඇලෝසියස්‌ මහතා විසින් කෝප් කමිටුවට ලබාදී ඇති පිළිතුරු කසුන් පලිසේන මහතාට ඉදිරිපත් කරමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් සිදුකරන ලදී.

ඒ අනුව ඇලෝසියස්‌ මහතා කෝප් කමිටුවට ප්‍රකාශ කර තිබුණේ ඔහුගේ මාමණ්‌ඩිය (බිරිඳගේ පියා) මහ බැංකු අධිපති තනතුරට පත්වූ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධවීම නුසුදුසු නිසාත් එය අරමුණු අතර ගැටුමක්‌ ඇති වීමට හේතුවක්‌ වන නිසාත් තමා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරින් ඉල්ලා අස්‌ වූ බවය. ඇලෝසියස්‌ මහතා කෝප් කමිටුවට ලබා දී තිබූ එම පිළිතුර කසුන් පලිසේන මහතාට කොමිසම හමුවේ කියවන ලෙස මිලින්ද ගුණතිලක මහතා විසින් දැනුම් දුන් අතර ඉන් පසු මේ ප්‍රකාශය සත්‍යයක්‌දැයි විමසූ අවස්‌ථාවේදී ඇලෝසියස්‌ මහතා ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත් වූ පසුවත් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට ඇතැම් අවස්‌ථාවලදී සම්බන්ධ වූ බවට පලිසේන මහතා පිළිගත්තේය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කීවේ ඇලෝසියස්‌ මහතා ඇතැම් අවස්‌ථාවල පමණක්‌ නොව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ මෙහෙයුම් කටයුතුවලට මුළුමනින්ම සම්බන්ධ වී ඇති බවයි.

මේ අනුව අර්ජුන් ඇලෝසියස්‌ මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවට බොරු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළ අතර ඒ ගැන සාක්‍ෂිකරුගෙන් විමසූ විට පලිසේන මහතා මුලින්ම ඊට දුන් පිළිතුර වූයේ ඒ ගැන තමාට හරියටම කිව නොහැකි බවයි.

මුලින් අර්ජුන් ඇලෝසියස්‌ මහතා කෝප් කමිටුවට බොරු කර ඇති බව එක්‌වරම නොපිළිගත් පලිසේන මහතා ඇලෝසියස්‌ මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ මෙහෙයුම් කටයුතුවලට ඇතැම් අවස්‌ථාවලදී සම්බන්ධ වූ බව පිළිගත්තේය.

මෙහිදී කොමිසමේ සභාපතිවරයා සාක්‍ෂිකරු අමතමින් කීවේ අර්ජුන් ඇලෝසියස්‌ මහතාගේ උපදෙස්‌ අනුව කටයුතු කර පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බිලියන ගණන් ලාබ ඉපයූ බවයි. ඒ අනුව ඇලෝසියස්‌ මහතා කෝප් කමිටුවට පවසා ඇත්තේ සත්‍ය නොවන බව පලිසේන මහතා පිළිගත් අතර අවසානයේ විනිසුරු ජයවර්ධන කළ ප්‍රශ්න කිරීම් හමුවේ අර්ජුන් ඇලෝසියස්‌ මහතා කෝප් කමිටුවට බොරු කර ඇති බව කසුන් පලිසේන මහතා පිළිගැනීම සිදු කළේය.

-දිවයින ඇසුරින්-

RSL

Related Posts