ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ජාතික පුවත්පතකට පවසා ඇත.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් කී ඒකනායක මහතා ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි කීවේය.
ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව කී රාජ්‍ය ඇමැතිවරයා 2020 දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනතුරු එසේ කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවක් තමා නොදන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ජාතික පුවත්පතක් කළ විමසුමකට පිළිතුරු දෙමින් එසේ කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අවසන්වන්නේ ලබන දෙසැම්බර් 31 වැනිදා බවද පවසා ඇත.