කරු ඉදිරිපත් උනාට නායකත්වයට සුදුසු නෑ – ජෝන් අමරතුංග

Spread the love

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සඳහා නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට දැනුම්දී තිබුණද ඔහුගේ නායකත්වය කිසිලෙසකින්වත් පිළිගත නොහැකි බව ජෝන් අමරතුංග මහතා පවසයි.
අමරතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ(08) බොරැල්ලේ ඒ මහතාගේ නිවසේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටින දේශපාලනඥයන් අතුරෙන් නායකත්වයට සුදුසුම පුද්ගලයා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුව අභියෝගයට ලක්‌කර කරු ජයසූරිය මහතා හෝ වෙනත් අයකු ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තමන්ට සුදුසුකම් තිබෙන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පවසයි.

යුද්ධයට සහයෝගය දැක්‌වීමක්‌ ලෙස සලකා එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 16 දෙනකු සමග ආණ්‌ඩුවට එක්‌වූ කරු ජයසූරිය මහතා හිස්‌ අතින් නැවත තනියම එජාපයට එක්‌වූ අයුරු සිහිපත් කළ අමරතුංග මහතා, බැරිවෙලාවත් ඔහු නායකත්වයට පත්වීමෙන් පසු ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියකට හිත ගියොත් මුළු පක්‍ෂයම ආණ්‌ඩුවට එක්‌කරයිද යන සාධාරණ සැකය එජාපයේ සැමගේම සිත් තුළ තිබෙන බව පැවසීය.

කරු ජයසූරිය මහතා ආණ්‌ඩුවට ගොස්‌ නැවත එජාපයට එන අවස්‌ථාවේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඒ ගැන විමසා සිටියත් ඊට බොහෝ දෙනකු විරුද්ධත්වය පළ කළ බව ඒ මහතා අනාවරණය කළේය.

නමුත් ජයසූරිය මහතා නැවත ආණ්‌ඩුවට නොයන බවටත් කිසි දිනක නායකත්වයට අභියෝග නොකරන බවටත් තමන් ඉදිරියේ පැවසූ බව නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දීමෙන් පසු ජයසූරිය මහතා නැවත පක්‍ෂයට ගන්නවාට බොහෝ දෙනකු එකඟ වූ බව අමරතුංග මහතා අනාවරණය කළේය.

ජයසූරිය මහතා නැවත එජාපයට එක්‌වෙන විට ඔහුට නියෝජ්‍ය නායක ධුරය පවා ලබාදීමට නායකයා ක්‍රියා කළත් අද ඔහුට පයින් ගසා නායකත්වයට පොර කෑම කිසි ලෙසකින්වත් පිළිගනු නොහැකි බව හෙතෙම කීය.

පක්‍ෂය දුර්වලවීමට හේතුව නායක රනිල් වික්‍රමසිංහ නිසා බව ඇතැම් අය ප්‍රකාශ කළත් ඒ සඳහා සෘජුවම බලපා ඇත්තේ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක වැනි අය එදා පක්‍ෂයෙන් ඉවත්ව යැමත්, කරු ජයසූරිය මහතා මන්ත්‍රීවරුන් 16 ක්‌ සමග ආණ්‌ඩුවට යැමත් වැනි කරුණු බව අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts