පෙළපාලි හා උද්ඝෝෂණ කරන සංගම් එක්ක සාකච්ඡා කරන්නේ නෑ – එස්.බී.

Spread the love

පෙළපාළි හා උද්ඝෝෂණ කරන කිසිම සංගමයක් සමඟ මින් ඉදිරියට සාකච්ඡා නොකිරීමට උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා තීරණය කර ඇත.

ශිෂ්‍යයන්ට හෝ වෙනත් කාර්ය මණ්ඩලවලට ගැටළු ඇත්නම් ඒවා විසඳා ගත යුතු සුහද ක්‍රම තිබෙන බව පවසන ඇමැතිවරයා, ඕනෑම සංගමයකට සුහදව හෝ ලිඛිතව පැමිණිය හොත් පමණක් තමා හමුවීමට අවස්ථාව සලසා දෙන්නැයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්දී ඇත.

ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හා විශ්වවිද්‍යාලවල වෙනත් කාර්ය මණ්ඩල සේවකයන් විටින් විට අමාත්‍යාංශයට නොදන්වා උද්ඝෝෂණ හා පෙළපාළි පවත්වන බැවින් විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම මහජනතාවද අපහසුතාවට පත්ව තිබෙන බවද හෙතෙම පැවසිය.

මේ දිනවල සියලුම විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය උද්ඝෝෂණ, පෙළපාළි ආදී ශිෂ්‍ය ක්‍රියාකාරකම් ආරම්භ වීමේ ප්‍රවණතාවක් තිබෙන බැවින් සිසුන්ගේ ගැටලු විසඳීමට අමාත්‍යංශය ගන්නා පියවර කුමක්දැයි මාධ්‍යවේදීයකු ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ අතර ලේකම්වරයා කියා සිටියේ, මෙවර විශ්වවිද්‍යාල සියල්ල එකම කාලසීමාවක ආරම්භ කිරීමට කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ඇති වූ බවයි.

විශ්වවිද්‍යාලවලට නවක සිසුන් ඇතුළත් වූ මුල් කාලවල දී සියලු විශ්වවිද්‍යාල මෙවැනි උද්ඝෝෂණ සංවිධාන කරන බවත් දේශපාලන, සමාජීය හෝ වෙනත් අවශ්‍යතා එම උද්ඝෝෂණවලට හේතු වන බවත් ලේකම්වරයා කීවේය.

වෙනත් අවුරුදුවල විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගන්නේ වසරේ විවිධ කාලසීමාවන්වල බවත් මෙවර එකවර සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගත් නිසා සියලු විශ්වවිද්‍යාලවල එකම කාලසීමාවන් තුළ උද්ඝෝෂණ, විරෝධතා සහ පෙළපාළි වැනි ශිෂ්‍ය ක්‍රියාකාරකම් පැවැත්වෙන බවත් නවරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

RSL

Related Posts