සහරාන් ගැන බුද්ධි අංශ වාර්තා 97ක්

Spread the love

2016 වසරේ සිට  පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින දක්වා කාලසීමාව තුළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත  යොමු කර තිබූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක්  සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළි සලකා බැලීම ආරම්භ කෙරුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරයි.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ,  ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන  විනිසුරුවරුන් අදාළ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති.

සලකා බැලීම ආරම්භ කරමින් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවය බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති දිවුරුම් පෙත්සමක් මගින් 2016 වසරේ සිට ප්‍රහාරය එල්ල වන දින දක්වා ජාතික තව්හීත් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හසීම් පිළිබඳව වාර්තා 97 ක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම් වරයා වෙත ලබාදී තිබූ බව සඳහන් ව ඇතැයි  කියා සිටියේය.

RSL

Related Posts