මහින්ද රාජපක්ෂට ‘වළ කපපු දේශාපලනඥයෝ’ ආයෙත් වැඩ පටන් අරන් – පූජ්‍ය අක්මීමණ දයාරතන හිමි

Spread the love

කොවිඩ්-19 වසංගතය සමස්ත රටම ආක්‍රමණය කර ජනජීවිතය සම්පූර්ණයෙන්ම අවුල්කර ජනතාව අතිෂය පීඩාවටත් අනාරක්ෂිතභාවයටත් පත්ව සිටින අවස්ථාවක එන්නත්කරණ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීම සහ ජන ජීවිතය යථා පරිදි පවත්වා ගෙන යාමට විධිමත් ක්‍රියාවලියක් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් සිංහල රාවය පක්ෂය දැඩි කණස්සල්ලටත් අපේක්ෂාභංගත්වයටත් පත්ව සිටින බව, සිංහල රාවය නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව පවසා සිටියේ අද (28) පෙරවරුවේ, දෙහිවල අනගාරික ධර්මපාල මාවතේ පිහිටි සිංහල රාවය මූලස්ථානයේ පිහිටි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් දයාරතන හිමියෝ කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වත්මන් ජනපතිවරයාට සහ රජයට මෙරට අති බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කළේ වර්තමානයේ දැකගත හැකි දේශපාලන හා පරිපාලන අවුල් සහගත තත්ත්වය වෙනුවෙන් නොවන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනතාව මීට වඩා කාර්යක්ෂම හා ඵලදායී පාලනයක් බලාපාරොත්තු වූ බවත්, විශේෂයෙන් එක් රටක් තුළ එක් නීතියක් ක්‍රියාත්මක වනු බලාපොරොත්තු වූ බවත් උන්වහන්සේ සදහන් කළහ.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අක්මීමණ දයාරතන හිමියෝ,

‘‘කොවිඩ් වසංගතය අවුරුද්දකට අධික කාලයකට සිට මුළු ජනජීවිතයම එකම අවුල් ජාලාවක් බවට පත්කර ගෙන තිබෙනවා. පසුගිය කොවිඩ් පළමු රැල්ලේදී මේ තරම් මරණ බයක් තිබුණේ නැහැ. දැන් ජනතාව අතර තිබෙන්නේ මරණ බවය. ආසාදිතයෙක් වෙයි කියලා තිබෙන බය. මොකද දැන් ජනතාව දන්නවා ආසාදිතයෙක් වුණොත් රජයේ රෝහල්වල පහසුකම් නැහැ කියලා. ආණ්ඩුව මාස 15ක් තිස්සේ කටින් බතල කොළ හිටෙව්වා විතරයි. සෞඛ්‍ය පද්ධතිය නවීකරණය කිරීමට, එහි පවතින හෙද – වෛද්‍ය හිගය පියවා ගැනීමට පසුගිය මාස 15 තුළ කිසිම ආකාරයක ඵලදායී පියවරක් ගෙන නැහැ. සෞඛ්‍ය කාර්යමණ්ඩල හිගනම්, ඔවුන්ට නිදහසේ  තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට නොහැකි නම් ඇදන් ලක්ෂයක් හැදුවත් මේ වසංගතය ජය ගන්න බැහැ.

අපි ඊයෙත් දැක්කා, මොරටුව නගර සභාවේ නගරාධිපතිවරයා එන්නත්කරණයට පැමිණ සිටි වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලයට බාධා කරමින්, ඔවුන්ට නිගරු කරමින් හැසිරෙන ආකාරයට. මේ වැඩේ සාමාන්‍ය මිනිහෙක්ගේ අතින් සිදු වුණා නම් අද ඔහු ඉන්නේ සිරභාරයේ. ඒත් මුළු රටම බලාසිටියදී, උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් බලා සිටියදී මේ නගරාධිපතිවරයා එන්නත්කරණ ක්‍රියාවලියට දැඩිව බාධා කළා.

මේ තත්ත්වය මොරටුවට පමණක් සීමා වුණ දෙයක් නොවෙයි. ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ සිට තවත් ප්‍රබල කැබිනට් ඇමැතිවරුන් ගණනාවක් මෙවැනි අනීතික හා අත්තනෝමතික මැදිහත්වීම් කර තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනඥයෝ සහ ආණ්ඩුවේ හිතවතුන් මේ එන්නත්කරණ ක්‍රියාවලිය තනිකරම දේශපාලනීකරණය කරගෙන තිබෙනවා. තව පිරිසක් මේක ව්‍යාපාරයක්, ජාවාරමක් කරගෙන තිබෙනවා.

අපි, ජාතික ව්‍යාපාරය ලෙස මේ ආණ්ඩුව බලයට පත් කිරීමට දැඩි කැපකිරීමක් කළා. ජනතාව දැඩි කැපකිරීමක් කළා. ඒ මෙවැනි අරාජික, අකාර්යක්ෂම සහ අවුල් සහගත පාලනයක් බලාපොරොත්තුවෙන් නොවෙයි.

රටක ආරක්ෂාව කියන්නේ ත්‍රස්තවාදයම, අන්තවාදයම පමණක් නොවෙයි. වසංගත, ස්වභාවික ආපදා, ආර්ථික සුරක්ෂිතභාවය වැනි ඒවත් ඍජුව ජනතාවට, රටේ ආරක්ෂාවට බලපානවා. ඒත් අපි වර්තමානයේ දකින්නේ මේ පැත්තෙන් නම් ආරක්ෂාව බින්දුවට කඩා වැටිලා තිබෙනවා. අරාජිකත්වයට පත්වෙලා තිබෙනවා.

අපි දන්නවා කොට් ත්‍රස්තවාදය පරාජය කරමින් මේ රටේම ගෞරවයට ලක් වුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2015දී පරාජයට පත්වීමට සිදු වුණා. එතුමාගේ පරාජයට ඍජුව ඇතැම් ඇමතිවරුන්ගේ සහ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියා සහ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ අත්තනෝමතික තීන්දු, අපරාධ සහ දූෂණ. ඒ නිසාම තමයි සිංහල බෞද්ධ ජනතාව පවා සැලකිය යුතු පිරිසක් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව ඡන්ද භාවිත කළේ.

එදා ආණ්ඩුවට වළ කපපු, ඇමැතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් යළිත් පිස්සු නටන්න පටන්ගෙන තිබෙනවා. අපි පිළියන්දලදී, ඊයේ මොරටුවේදී දැක්කේ මේ විනාශයේ තවත් ප්‍රකාශනයක් විතරයි. ඒ නිසා අපි ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටිනවා, එන්නත්කරණ ක්‍රියාවලියට ඕනෑම ආකාරයකින් බාධා කරන, නිරෝධාන සහ වසංගත මර්දනයට එරෙහිව ගෙන ඇති නීති අභියෝගයට ලක්කරන දේශපාලනඥයින් පාට පක්ෂ නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අවමගුලෙදී සිදු වුණ දේ, පිළියන්දලදී සිදු වුණ දේ, මොරටුවේදී සිදු වුණ දේ හෙට තවත් තැනකදී සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා.

අපි එහෙම කියන්නේ මෙවැනි මෝඩ වැඩ වලින් තවත් බොහෝ පිරිසක් ආශ්වාදය ලබනවා. ආදර්ශය ලබනවා. එදා ගාමිණි ලොකුගේ ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණා නම් මොරටුව නගරාධිපතිවරයා මෙවැනි ආකාරයට හැසිරෙන්නේ නැහැ. ඒ නිසා නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරොවෙන් කපන්නත් බැරි තත්ත්වයට පත් කරන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වළ කපපුමේ දේශපාලන පිස්සු බල්ලන් බැද දමන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුණොත් 69 ලක්ෂයක් සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු සුන්වෙලා රට යළිත් සුළුජාතීන්ගේ, සුළුජන පක්ෂවල අතකොළුවක් බවට පත්වීම වළක්වන්න බැහැ.

මෙහිදී එන්නත්කරණ ක්‍රියාවලියට සිදුවන බාධා කිරීම් වගේම රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය සහ සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර ඇතිවෙලා තිබෙන අර්බුදය ගැන අපි දැඩි කණස්සල්ලට පත්වෙනවා. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාව හමුවේ, සමාජය හමුවේ අප්‍රසාදයට, අවමානයට පත්කරන සූක්ෂම වැඩපිළිවෙළක් දියත් වෙනවා. එන්නත්කරණය සමග නිර්මාණය වෙලා තිබෙන්නේ එහි එක් ප්‍රකාශනයක් පමණයි. මේ ව්‍යාපාරය පිටුපස විපක්ෂ බලවේග මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන බව අපි ඍජුව කියනවා. මොකද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුර්වල කළ විට, අපකීර්තියට පත් කළ විට දේශද්‍රෝහී බලවේගවලට ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට පහසුයි. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි කැපකිරීමක් කළා. එහි සභාපතිවරයා දැඩි තර්ජන, ගර්ජන හා අවමන් මැද ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා අපි ආණ්ඩුවෙන්, විශේෂයෙන් ජනපතිවරයාගෙන් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ අවස්ථාවේ කොවිඩ් වසංගතය නිසා කබලෙන් ලිපට වැටී සිටින සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් ගැන රජයේ දැඩි අවධානය යොමුවිය යුතුයි. ගමේ සිල්ලර කඩ හිමියාගේ සිට, බියුට් සැලොන් එක පවත්වා ගෙන ගිය කාන්තාව දක්වා ග්‍රාමීය සුළු ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටිනවා. මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින්, කර්මාන්ත හිමියන් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් වගේම රජයේ යුතුකමක් බව අපි අවධාරණය කරනවා. මොකද මේ රජය බලයට පත් කිරීමට මේ සියලුම පාර්ශ්ව දැඩි කැප කිරීමක් කළා.

ඔවුන්ගේ වත්මන් රජය බලයට පත් කළේ සිංහල බෞද්ධ ව්‍යාපාර, කර්මාන්ත ආරක්ෂා කරදේවි, ඒවාට යහපත් අනාගතයක් හිමිවේවි කියන අපේක්ෂාවෙන්. නමුත් අද ඔවුන් බහුතරයක් බැකුවල, ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරිකයින්ගේ, ෆිනෑන්ස් සමාගම්වල සිරකරුවන් බවට පත්ව සිටිනවා. ඒ නිසා මොවුන් ගැන කඩිනමින්, ඵලදායී අවධානයක් රජය යොමු කළ යුතුයි. අපේ කතාවක් තිබෙන තැල්ල බදින්න නම් බෙල්ල රැක ගත යුතුයි කියලා. අපි කියන්නෙත් ඒකම තමයි. මේ රටට සෞභාග්‍යය උදාකිරීමට අවශ්‍ය නම් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගන්න.

බොරු කයිවාරු කතා නැතිව ජනතාව ගැන බලන්න – සිංහල රාවය මහ ලේකම්, ශාලික පෙරේරා

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සිංහල රාවය මහ ලේකම් ශාලික පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට විධිමත් හා ඵලදායී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම නිසා නිෂ්පාදකයින්, ව්‍යාපාරිකයින් සහ පරිභෝගිකයින් යන තෙපාර්ශ්වයම දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි.

විශේෂයෙන් සංචරණ සීමා ඉවත් කළ පසු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව දැඩි සේ පීඩාවට පත් වූ බව කියා සිටි සිංහල රාවය මහ ලේකම්වරයා සීතකාරමවල සිට තීන්දු තීරණ ගන්නා, ජනතාවගේ සැබෑ තත්ත්වය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති නිලධාරීන්ගේ විකාරරූපී තීරණ සහ නීති නිසා ජනතාව අපහසුතාවටත්, ආණ්ඩුව අපකීර්තියටත් පවත්වන බව කියා සිටියේය.

‘අපි දැක්කා ව්‍යාපාරිකයින් හිතූ හිතූ ගණන්වලට භාණ්ඩ විකුණනවා. ඒක බරපතළ තත්ත්වයක්. මේ අවස්ථාවේ ජනතාව දැඩිව ආර්ථික පීඩනයකට ලක්ව සිටින්නේ. ඔවුන්ගේ සියලුම ආදායම් මාර්ග අහිමි වෙලා. බොහෝ දෙනෙක් මේ දිනවල ජීවත් වෙන්නේ රන් භාණ්ඩ උකස් කරලා, ගිනි පොළියට ණය අරන්. ඒකයි ඇත්ත තත්ත්වය. එවැනි පිරිසක් අසීමිත ලෙස ව්‍යාපාරිකයින් විසින් සූරාකෑම අපට කිසිසේත් අනුමත කළ නොහැකියි. අපි පරිභෝගික සේවා අධිකාරියට සහ වෙළෙද ඇමතිවරයාට කියන්නේ මාධ්‍යවලට කයිවාරු කතා නොකියා පරිභෝගික ජනතාව දෙස බලන්න. ඔවුන්ව මේ අසීමිත සූරාකෑමෙන් මුදවා ගන්න.

ඒ කතාවය මතයි අපි කෘෂිකර්ම ඇමතිවරයාටත් කියන්නේ. ඔවුන් සහ ඔවුන්ගේ නිලධාරීන් සීත කාමරවල සිට හැදූ සැලසුම් මේ වන විට පුස්සක් වෙලා තිබෙනවා. ඒවා භූමිය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා ගොවියා වගේම පරිභෝගිකයත් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. යළි 31 වැනිදා සංචරණ සීමා ලිහිල්කරන විට මේ තත්ත්වය ඉවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එසේම රට කොයි තරම් අරාජික තත්වයකට පත්වෙලා තියෙනවද කියලා අපිට පේනවා. අද බංගලාදේශය වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වලින් හිගා කන තත්වයට අපි පත්වෙලා. ලැජ්ජයි කියන්න එහෙම තියෙද්දී අපි දැක්කා මේ වසංගතය සහ අරාජික තත්වය හමුවේ මැති ඇමති වරුන්ට සැප වාහන ආනයනය කරන්න කටයුතු කරනවා. මේවා නින්දිත, තක්කඩි, දේශපාලන සහාසික, ක්‍රියාවක්. මේ මොහොතේ සමස්ථ රට වැසියන්ම මේ කාරනාව දේශපාලන සහ සමාජයීය ලෙස හෙලා දැකිය යුතුයි.‘‘

මෙහිදී මාධ්‍යවේදීන්  යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් සිංහල රාවය නායක, පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ,

මාධ්‍යවේදියෙක් – ‘අවසර හමුදුරුවනේ, දැන් ලංකාවට ගොඩබිම පරිසරය පමණක් නොවෙයි මුහුද පවා ආරක්ෂා කර ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා නේද ? ජාතික ව්‍යාපාරය ලෙස ඔබ වහන්සේ මේ ගැන හිතන්නේ කුමක්ද  ?

අක්මීමණ දයාරතන හිමියෝ – මේ වගේ වැඩවලට අපි කියන්නේ කොරේ පිටට මරේ කියලා. කොරෝනා වලින් අසීමිත බැට කමින් ඉන්න කොට මහ විශාල නැවක් අපේ ඇස් පේන මානයේ ගිනි ගන්නවා. ඒක නිකංම නිකං නැවක් නෙමෙයි විෂ රසායනික ද්‍රව්‍ය පුරව ගෙන ආපු නැවක්. විස රසායන ගැන කතා කරන පාලකයෝ මේ විනාශය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර ගත්තේ නැති බව අපි පැහැදිලිව දැක්කා. මේකට ආණ්ඩුවට ඍජුව ඇගිල්ල දික්කරන්න අපි ඉක්මන් වෙන්නේ නැහැ. ඒත් අපි කියන්නේ ආණ්ඩුව මේවාගේ දේවල් ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගයක ඉන්න අපි මේ වාගේ සිදුවීම්වලට මීට වඩා දක්ෂ විය යුතුයි. විශේෂඥ විය යුතුයි. ඒත් අපි එවැනි විශේෂඥභාවයක් මේ අවස්ථාවේ දැක්කේ නැහැ. ඒ ගැන අපි දැන් පුදුම වෙන්නෙත් නැහැ. ඒත් අපි අවධාරණය කරන්නේ ලංකාව ලෝකයේ කුණු කන්දක් විය යුතු නැහැ. මේ සිදුවීම පැහැදිලිව ම අපට අපකීර්තියක් වගේම අපි කයිවාරුවේ තරමට වැඩ නොකරන බව ලෝකයට කියා පෑමක්.

මාධ්‍යවේදියෙක් – පළමු කොවිඩ් රැල්ල එන විට අධ්‍යාපනය ගැන සහ තවත් බොහෝ දේවල් නවීකරණය ගැන ආණ්ඩුව කතා කළා. අද ඒවා සිදුවී තිබෙනවාද ?

 අක්මීමණ දයාරතන හිමි – මේ ගැන අපිට වඩා හොදින් ඔබතුමන්ලා දන්නවා. කොවිඩ් පළමු රැල්ල ආ විට ටෙලිවිෂන් එක එකම ඉස්කෝලයක් වුණා. ඒත් දැන් ඒවා ආගිය අතක් නැහැ. ඒ නිවේදකයෝ, නිලධාරීන් ආගිය අතක් නැහැ. රූපවාහිනී ඉස්කෝල, සරසවි ගැන මෙලෝ කතාවක් නැහැ. ඒ වෙනුවට අන්තර්ජාල සමාගම් නම් වාර්තාගත විදිහට ලාබ ලබපු බව කියනවා. අපි කතාවට කියනවා ‘වදුරෝ ගෙවල් හදනවා වාගේ කියලා‘ අපි බොහොමයක් නිලධාරීන් සහ දේශපාලනඥයින් අයිති ඒ කුලේට. කටින් බතල හිටවන්න මහා සූරයෝ වුණාට වැඩක් කළොත් ඉවරයි. හත්පොලේ ගා ගන්නවා. අපි මේ වගේ තත්ත්වයක් හීනෙන්වත් බලාපොරොත්තු වුණේ නැහැ. ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි අපේක්ෂාභංගත්වයට පත්ව සිටින්නේ.

මාධ්‍යවේදියක් – ජනතාවට විකල්පයක් නැහැ නේද හාමුදුරුවනේ ?

අක්මීමණ දයාරතන හිමි – අපි කියන්නේ මේ වැරදි නිවැරදි කර ගන්න ජනාධිපතිතුමාට, අගමැතිතුමාට තවමත් කල් තියෙනවා. ජනතාව ඇත්තටම ආදරේ කරන, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්, නිෂ්පාදකයින් රැක ගන්න සූදානම් අය ළංකර ගන්න තවමත් හැකියාව තිබෙනවා. ඒ නිසා සුළුජන පක්ෂවල, රාජ්‍ය නොවන සංවිධානවල සහ බටහිර න්‍යාය පත්‍රවල අතකොළුවලට යළි ශක්තිමත් වීමට ජාතික ව්‍යාපාරය ලෙස අපි ඉඩ දෙන්නේ නැහැ. ඒකට කවදාවත් ඉඩක් දෙන්නේ නැහැ.

Related Posts