ඔබත් විනාඩි 30 pizza ලෝලියෙක්ද..? ඇණවුම් කරන්න පෙර කියවන්න

Spread the love

ඔබත් online කෑම ඇණවුම් කරන්නෙක්ද? Pizza ලෝලීයෙක්ද? විනාඩි 30න් ඔබේ ඇණවුම ආවේ නැති වුනොත් ඒ කොලුවාගෙ ජාතිය අමතා ගණන්කාරකම පෙන්වන්නෙක්ද? ඔබට විනාඩි 30න් pizza අවශ්‍ය කෙනෙකුගෙ ජීවිතය ඔට්ටුවට තබාද?

එසේ නම් මොහොතක් සිතන්න.. පුංචි අත්දැකීමක් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි.

දින කීපයකට හවස් යාමයක රාජගිරිය මංසන්ධියේ දැඩි වාහන තදබදයකි.. එමෙන්ම ධාරානිපාත වර්ශාවක්ද ඇද හැලෙමින් තිබුණි. වර්ශාව කොතෙක්ද යත් මීටර් 5ක් එහායින් ඇති වාහනය පවා නොපෙනෙන තරමට වර්ශාව දැඩිය.. ජනෙල් වසන ලද රෝද හතරේ වාහන, බස් සහ ත්‍රීරෝද රථ හැරුනකොට බයිසිකල් වල ගමන් කරන්නන්ට නම් ඒ වැස්සෙ ගමන් කිරීම කිසිසේත්ම කළ නොහැක්කකි.. වෙනදාට වාහන අස්සෙන් රිංගා යන බයිසිකල් කරුවන් එම වෙලාවේ සිටි බවට මට නිනව්වක් නැත..

යම් තැනක traffic signals කොළ පැහැය වන තෙක් අප බලා සිටියෙමු.. එක්වරම කොළ පැහැය දැල්වුනු වහාම මට පිටුපසින් සිටි ප්‍රසිද්ධ pizza සමාගමක බයිසිකලයක් පිස්සුවෙන් මෙන් මාව පසුකර යෑමට වම් පැත්තෙන් උත්සාහ කරනු මම දුටුවෙමි.. නමුත් අවාසනාවකි.. පාරේ ලිස්සන ස්වාභාවය නිසාදෝ ඔහුට මගෙ පැති කණ්නාඩියද ඇඳ කරගෙන ලිස්සා වැටුණි.. පිටුපස වාහන එක දිගට හෝන් කරනවා ඇසෙයි. නමුත් ක්ශණයකින් ක්‍රියාත්මක වූ මම තවත් අයෙකු සමඟ ඔහුව පාරේ අයිනකට රැගෙන බයිසිකලද පාරෙන් ඉවතට ගන්නට තවත් දෙදෙනෙකු ක්‍රියා කළහ.

ඔහුගෙ කකුල යම් තැලීමකට ලක්ව තිබුණි. නමුත් ඔහු එය ගණන් ගත්තේ නැත.. එවෙලේ මට ආවේ ආවේගයකට වඩා දුකකි. එතන සිටි මිනිසෙක් “මැරෙන්නද බන් යන්නෙ මේ වැස්සෙ? ” කියනවා ඇසුණි.. ඔහුගෙ දෑස් වල තිබුණෙ ” ආසාවට මැරෙන්න යන්නෙ නෑ බන් ” වැනි දෙයකි.

ඒ ක්ශණයකින් ඔහු අමාරුවෙන් නැගිටගෙන අපට ස්තූති කොට යන්නට ගියේය. ඔබ සමහර pizza මෙන්ම කෑම ඇණවුම් කරන ආයතන වල සිත් ගන්නා සුලු ප්‍රචාරන දැක ඇති.

” විනාඩි 30න් ඔබේ pizza ඇණවුම ඔබ ළඟට නාවොත්, එය නොමිලේ ඔබට දෙනු ලැබේ. ”

ඉතින් ඔබ බලාපොරොත්තු වෙන්නෙ උපරිම සේවාවකි.. ආයතනයට දීමට ඉතාම අපහසු මෙන්ම පිරිමැසිය නොහැකි දෙය නම් පාරිභෝගික සේවාවයි. මිල, ගුණාත්මක බව සියල්ලට වඩා පාරිභෝගික සේවාව අලෙවිකරණයේදි වැදගත් බව අලෙවි ක්ෂේත්‍රයේ සිටින අය දන්නවා ඇති..

නමුත් එක ප්‍රශ්නයක් මම ඔබෙන් අසමි. විනාඩි 30න් උණු උණු pizza එකක් කෑමට කොහේ හරි සිටින ඔබ වැනිම තරුණ කොල්ලෙකුගෙ ජීවිතය උකස් කිරීම කොතරම් අනුවේදනීයද?

යමෙකු මෙසේ කියාවි.. එම වෘත්තීය තෝරාගත්තේ ඔහුමය.. ඔහු එම වෘත්තීය තෝරාගන්නා විට එහි ඇති අභියෝග, අවදානම යන සියල්ල දැනගෙන ඔහු එය තෝරාගත්තේ නම් අපට කිරීමට දෙයක් නැත..

ඇත්ත.. ගිනි නිවන භටයන්ද එසේමය.. එල්ටීටීඊ සමයේ හමුදාවට බැඳුනු අයද එසේමය.. එය තෝරාගැනීමකි.. එසේ නම් අප ඔවුන්ගෙ ජීවිත ගැන කතා නොකර යුතුය . ඔවුන් ඒ අවදානම ගන්නෙ පඩියකටය. එම නිසා ඔවුන්ට උදව් කිරීමට අපට නොහැකිය..

න්‍යායාත්මක ලෙස ගත් කළ ඔය pizza ආයතනයේ ඉහළ කළමණාකාරුවෙකුට ඔබ මේ ගැන ඇසුවහොත් ඉහත කී දේවල් ප්‍රතිතර්ක ලෙස ඔබට ඔහු පවසනු ඇත.

එසේ නම් ආයතන හදන්නට අපට බැරිය. පාරිභෝගිකයන් ලෙස අපට හැකි නම් රොබෝ මානසිකත්වයෙන් මිදී සැබෑ මිනිසුන් ලෙස ඔවුන් ගැන සිතන්නට එය ඉතා වටිනේය..

විනාඩි 30 ඇණවුම වර්ශාව නිසා හෝ මාර්ග තදබදය නිසා හෝ කිසියම් හේතුවක් නිසා පරක්කු වුවහොත්

” ඔයා හරිම පරක්කුයිනෙ. අපි සල්ලි ගෙවන්නෙ නෑ ”
” තමුසෙලාගෙ ලොක්කො කවුද? දෙනවා නම්බර් එක මං කම්ප්ලේන් කරන්න”

ආදි වශයෙන් සිය වර්ණ පෙන්වීමට යෑම කොතරම් දුරට සාධාරණද කියා ඔබම සිතන්න. මේ තරුණයන් ඔබට උණු උණු pizza වක් ලබා දීම සඳහා සිය ජීවිතය අවදානමට ලක් කරති.. සමහර වෙලාවට ලේ හලා ගති.. එසේ කර ඔබ ලබාගන්නා විනාඩි 30 pizza ව සැනසීමෙන් කා දිරවා ගැනීමට හැකි නම් මට කමක් නැත..

මොහොතක් සිතන්න.. ඔවුන් අහේතුකව ප්‍රමාද වන්නෙ නැත.. එසේ ප්‍රමාද වුවහොත් ඒ මනුස්සයාට මනුස්සයෙක්ට මෙන් සළකන්න. ඔබේ ප්‍රතිචාරය සමහරවිට ඊළඟ දවසේ ජීවිතයක් බේරීම සහ ජීවිතයක් නැති වීම අතර දෝලනය වීමක් විය හැකිය.

අනව තප්ත විල

RSL

Related Posts