20-30 අතර තරුණයින් කොවිඩ් එන්නතට බිය වීමෙන් ගැටලු රැසක්

Spread the love

ඔවුන් දවසම ගතකරන්නේ අන්තර්ජාලයේ. එහි කොවිඩ් ගැන, එන්නත් ගැන නිතර නිතර පළ වන සාවද්‍ය හා මිත්‍යා තොරතුරු ඔවුන් දැඩිව ග්‍රහණය කරගෙන සිටින බවයි අපට පෙනී යන්නේ. මෙය අද ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබෙන කරුණක්

COVID -19 ට එරෙහිව එන්නත් ලබා ගැනීමට වයස් 20-30 අතර වයස් කාණ්ඩ අතර උනන්දුවක් නොමැතිකම ගැන සෞඛ්‍ය බලධාරීන් දැඩි කනස්සල්ල පළ කරති.

‘වයස අවුරුදු 20-30 වයස් කාණ්ඩයේ සිටින බොහෝ දෙනෙක් කොවිඩ් එන්නත වඳභාවයට හේතු විය හැකි බවට බිය වන අතර සමහරු ඔප්පු නොකළ ස්වාභාවික පිළියම් වලට කැමැත්තක් දක්වනවා‘‘ එන්නත්කරණය හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසුවේය.

‘‘වයස අවුරුදු 20 – 30 දක්වා වන කාණ්ඩයෙන් එන්නත් ලබාගෙන ඇත්තේ ඇස්තමේන්තුගත පිරිසෙන් 40% ක් පමණ පිරිසක්. එය ඉතා දුර්වල ප්‍රතිශතයක්. තරුණයින්ගේ මෙම ආකල්පය නිසා එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා‘ ඔහු වැඩි දුරටත් පැවසුවේය.

සංඛ්‍යාලේඛනවලට අනුව, අගෝස්තු මාසයේදී පමණක් වෛරසයට ගොදුරු වූ අයගෙන් සියයට 95 ක්ම එන්නත් ලබා නොගත් අතර, ශ්‍රී ලංකාව තරුණයින් අතර දිනකට අවම වශයෙන් මරණ 2 සිට 3 දක්වා වාර්තා වේ.

‘‘තරණ ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් විද්‍යාත්මකව ඔප්පු නොකළ ආයුර්වේද ඖෂධ ඇතුළු පිළියම්වලට විශාල නැඹුරුවක් දක්වනවා. මේ තත්ත්වය නිසා ඔවුන් එන්නත්කරණයට යොමුවීම විශාල ලෙස අඩුවෙලා තිබෙනවා‘‘

විදේශගත වීමට වැඩි නැඹුරුවක් ඇති තරණ ප්‍රජාවක් ජීවත් වන කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල තරුණයින් අතර පවා එන්නත්වලට එරෙහි මෙම ඍණාත්මක තත්ත්වය වාර්තාවීම විස්මයට කරුණක් බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

‘‘තරුණයින් අතර උනන්දුවක් නොමැතිකම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම එන්නත් මධ්‍යස්ථාන කටයුතුවලට දැඩි බාධා පැමිණ තිබෙනවා‘‘

අනාගතයේදී විදේශගත වීමේ අපේක්ෂාවෙන් පසුවන තරුණයින් ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර අනාගතයේදී බටහිර රටවලට යාමට සිදුවිය හැකි හෙයින් ඔවුහු සිනොෆාර්ම් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරති. නමුත් සිනොෆර්ම් එන්නත් ද ඵලදායී බව ඉතා හොඳ බව ඔප්පු වී ඇත.

‘‘තරුණයින්ට ඔවුන්ගේ මනාපයන් තිබෙනවා. ඔවුන් විදේශගතවීමේ අපේක්ෂා නිසා ෆයිසර් සහ මොඩර්නා එන්නත්ම අපේක්ෂා කරනවා‘‘

‘‘එන්නත් නොකළ වැඩිහිටියන් තුළ ඩෙල්ටා ප්‍රභේදයේ දැඩි රෝග ලක්‍ෂණ ඇතිවීමේ අවදානම පවතින අතර, එන්නත් නොකළ තරුණයින්ට ද සමාන අවදානමක් තිබෙනවා. ඒ වගේම අපේක්ෂිත ප්‍රතිශතය එන්නත්කර රට යථා තත්ත්වයට පත් වීමේ ඉලක්කයක් රජයට තිබෙනවා. තරුණ පිරිස් අතර තිබෙන මෙම ඍණාත්මක ආකල්පය හා පසුබෑම නිසා රට විවෘත කිරීමටත් ගැටලු ඇතිවෙනවා.

‘‘ මෙම වයස් කාණ්ඩයට ඉක්මනින් එන්නත් ලබා දිය යුතු ව තිබෙනවා. එසේ නොකර රට විවෘත කිරීමට නොහැකියි‘

“ඔවුන්ට එන්නත ගැන කිසියම් බියක් තිබේ නම් වෛද්‍යවරයෙක්ගෙන් එය පැහැදිලි කරගත හැකියි. එන්නත ලබා ගැනීම වඳභාවයට හේතු වන බවට වන මිථ්‍යාවන් විශ්වාස නොකළ යුතුයි. ඒ වගේම තවත් වසර කිහිපයකින් සිදුවන විදේශගත වීමක් වෙනුවෙන් අද කැප නොකළ යුතුයි‘‘

මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියේ තරුණයින් අන්තර්ජාලය තුළ බහුල ලෙස සැරිසැරීම නිසා මිත්‍යා මතවලට සහ ප්‍රතිකාරවලට දැඩිව යොමුවන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකි බවයි.

‘‘ඔවුන් දවසම ගතකරන්නේ අන්තර්ජාලයේ. එහි කොවිඩ් ගැන, එන්නත් ගැන නිතර නිතර පළ වන සාවද්‍ය හා මිත්‍යා තොරතුරු ඔවුන් දැඩිව ග්‍රහණය කරගෙන සිටින බවයි අපට පෙනී යන්නේ. මෙය අද ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබෙන කරුණක්‘‘

Related Posts