15 හැවිරිදි දැරිය අපයෝජනය කළ නාවික හමුදා‘ලුතිනන් කමාන්ඩර්’ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

Spread the love

අන්තර්ජාලය හරහා අලෙවි කළ බව කියන 15 හැවිරිදි දැරියක සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් පසු ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදුකළ බවට එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා කඳවුරේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජූලි 19 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

සැකකාර විශේෂඥ වෛද්‍යවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් තනතුර ද දරන බවයි පොලිසිය අධිකරණයට වාර්තා කළේ.

සැකකරු උසාවියට ​​ඉදිරිපත් කරමින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන සැකකරු කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දී දැරිය මුණගැසී ඇයව ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට ගෙන ගොස් ඇති බවයි.ෙ

සැකකරුවන් ගණනාවක් සම්බන්ධ සංවිධානාත්මක ලිංගික සූරාකෑමේ ජාවාරමකට අදාළ නඩුවේ 32 වන සැකකරු ලෙස ඔහු නම් කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 40 ත් 50 ත් අතර අය බව පොලිසිය අධිකරණයට වාර්තා කළා.

සැකකරු, දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තිය යටතේ වරදක් කර ඇති බවට පොලිසිය චෝදනා කර තිබෙනවා. වයස අවුරුදු 16 ට අඩු කාන්තාවක් සමඟ ලිංගික සංසර්ගය යනු ස්ත්‍රියගේ කැමැත්ත ඇතිව හෝ රහිතව සිදු කළ දූෂණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සැලකෙනවා.

වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා තම සේවාදායකයා බාල වයස්කාර දැරිය සමඟ ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවට වූ චෝදනාව ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත්, විත්තියේ නීතිඥවරයා තම සේවාදායකයා විසින් දැරිය මවුන්ට් ලැවීනියා හි හෝටල් කාමරයකදී මුණගැසී ඇති බව පිළිගත් අතර, ඇය බාල වයස්කරියක බව දැනගත් මොහොතේම ඔහු කාමරයෙන් පිටව ගිය බවයි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ. 

ලිංගික කාරණා සඳහා දැරිය යොදා ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා අදාළ බලධාරීන්ට පැමිණිල්ලක් නොකළ බව විත්තියේ නීතිඥවරයා පිළිගත්තා. 

මෙම අවස්ථාවේදී පොලිසිය චෝදනා කළේ සැකකරු වගකිවයුතු රජයේ සේවකයෙකු ලෙස තම රාජකාරිය නොසලකා හැර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වේච්ඡා ප්‍රකාශයක් කිරීමට ජූලි 9 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලොචනා අබේවික්‍රම මහත්මිය විසින් සැකකරුට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර, ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට ප්‍රචාරය ලබා දෙන බව කියන වෙබ් අඩවි හතරක් තහනම් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළා. උසාවි නියෝගයක් ලබා නොගෙන වෙබ් අඩවි තහනම් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට බලය ඇති බව අතිරේක මහේස්ත්‍රාත්වරිය සදහන් කළා.

මේ අතර, දැරිය ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරෙකු අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ජූලි 19 දක්වා රිමාන්ඩ් කරනු ලැබුවා.

දැරියගේ මව, මාලදිවයිනේ හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අෂ්මාලි, මිහින්තලේ ප්‍රදේශීය සභාවේ උප සභාපති, හෝටලයේ කළමනාකරු සහ මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් 32 දෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related Posts