13 කණුවේදී ජීවිත 15ක් බිළිගත්තේ කළුගලක් – වගකීම බලධාරීන් භාරගත යුතු බවට චෝදනා !

Spread the love

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක් අද (20) දින අළුයම කාලයේදී මොනරාගල – බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනකු මියගොස් තවත් 32ක් තුවාල ලබ ඇතැයි පස්සර පොලිසිය සදහන් කළා. මිය ගිය අය අතර කාන්තාවන් 6 දෙනකු ද සිටිනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50 දෙනකු පමණ ගමන් කරමින් සිටි බවයි පස්සර පොලිසිය කියන්නේ.

මෑත අතීතයේදී මෙරටින් වාර්තා වූ බිහිසුණුම මාර්ග අනතුර මෙය වෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීන් කියන්නේ ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට  කඩා වැටුණු කළු ගලක් බවත් එම නිසා මාර්ගය එක් මංතීරුවක් වැසි ගිය බවයි. මෙම කළු ගල ඉවත් කරන ලෙස අදාළ ආයතනවලට දැනුම් දුන්නත් වගකිවයුතු ආයතන සිය වගකීම ඉටු නොකිරීම මෙම අනතුරට මූලික අනතුර බව ද ප්‍රදේශවාසීන් කියනවා.

‘මේ කලුගල ඉවත්කර මාර්ගය යළි සකස්කර දෙන මෙන් අපි පසුගිය කාලය පුරාම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ඔවුන් ඒ ගැන කිසිම සැලකිල්ලක් යොමු කළේ නැහැ. මොනරාගල – බදුල්ල පාර කියන්නේ මේ රටේ ප්‍රධාන මාර්ගයක්. දිනපතා වාහන දහස් ගණනයක් ගමන් කරන කදුකර මාර්ගයක්. ඒත් බලධාරීන් මේ කිසිවක් ගැන තැකීමක් කළේ නැහැ. මේ අනතුරේ වගකීම ඔවුන් භාරගත යුතුයි‘ ප්‍ර දේශවාසීන් කිහිප දෙනකුම මේ වාර්තාකරු සමග කීවා.

එක් මංතිරුවක් වසාගෙන තිබු එම කළු ගල පසුකර ඉදිරියට ආ ලොරි රථයකට ඉඩ දීමට යාමේ දි මෙම අනතර සිදුවන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාකව සටහන් වී තිබෙනවා. ඉදිරියෙන් පැමිණෙන ලොරි රථයට ඉඩදීමට යාමේදි එකවර බසට  අඩි 350ක් පමණ ප්‍රපාතයට පෙරළි ගොස් ඇති බවයි පස්සර පොලිසිය කියන්නේ.

අනතුරින් බස් රථය සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති අතර එම සුන්බුන් ගොඩට යටවී සිටි තුවාලකරුවන්  ඉන් ඉවත් කර ගැනීමට බූම් රථයක සහය ගැනීමට පොලිසියට සිදු වූ අතර ඒ සදහා පැය තුනක් පමණ ගත වුණා.

තුවාලකරුවන් ගොඩ ගනිද්දි එකවරම විශාල ගලක් පෙරළීම නිසා එක් අයකුට තුවා ලබා තිබෙනවා.

Related Posts