100%ක් කාබනික වගාව ගැන පුරසාරම්වලට අපූරු පිළිතුරක් දුන් ගොවිරජා

Spread the love

දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත්  බාල ඒවා.  එහෙම හරි මිලදී ගන්න නැහැ. තියෙන එකත් විශාල ගණනකට තමයි අලෙවි කරන්නේ. ඉදිරියේදී මේ පිළිබඳව රජයේ අවධානය යොමු කළොත් වඩාත් ගොවීන්ට හොඳ කාලයක් ඒවි

සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙන අක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේයෙන් අපට හමුව විය.

ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණ වගා කරුවෙකු වන එස්. ඒ.  රත්නපාල  මහතා මෙම  සාර්ථක අස්වැන්න  ලබාගෙන තිබේ.

වර්තමානයේ කාබනික පොහොර සහ  රසායනික පොහොර අනෙකුත් පළිබෝධ නාශක ද්‍රව්‍ය පිළිබඳව අත්දැකීම් රැසක් ඇති රත්නපාල මහතා සතුව තක්කාලි වගාවට අමතරව අක්කර හයක පමණ සාර්ථක කහ වගාවක් ද පවතී.

වසර ගණනාවක සිට කාබනික වගාවට හුරු වී සිටින රතනපාල මහතා කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමාන කරන අස්වැන්නට වඩා වැඩි  අස්වැන්නක් තමන් තක්කාලි වගාවෙන්  ලබන බවය.

එම අස්වැන්න ලබා ගැනීම සඳහා මූලික හේතු පාදක වී ඇත්තේ  කාබනික පොහොර තම භූමියට හුරුකර ගැනීම නිසාවෙන් බව ද එම ගොවි මහතා සඳහන් කර සිටී.

එමෙන්ම තක්කාලි අස්වැන්න නෙළා අවසන්ව තිබියදී නැවත ජලය සැපයීමත් සමග තක්කාලි ගස් වල නව දළු රිකිලි ලා මල් හට ගෙන ඇති අවස්ථාවක නව අස්වැන්නක් නෙළා ගැනීම තවත් සාර්ථක ක්‍රමවේදයක් සොයා ගැනීම්ට හැකි වූ බව ද රතනපාල ගොවි මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රතනපාල ගොවි මහතා, ‘මම බොහෝ කාලයක සිට මහා පරිමාණයෙන් ගොවිතැන් කරනවා. ඒ වගේම ඒ කාලය පුරාම කාබනික පොහොරත් හරි හරියට භාවිත කළා. එළවළු වගාව සියයට සීයක් කාබනික පොහොර වලින් පමණක් සිදු කිරීමට නොහැකි බව මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ සඳහා කාබනික පොහොර 70%ක් සහ රසායනික පොහොර 30%ක් භාවිතා කළ යුතුයි. එවැනි මිශ්‍රණයකින් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්‘

මේ වන විට තම වගාවේ බරපතළම හානිය බවට පත්ව ඇත්තේ හඳුනා නොගත් ඉතා සියුම් ප්‍රමාණයේ පණුවෙකු තක්කාලි වගාවේ ලා කොළවලට සහ මල් වලට හානි කරන බව රතනපාල මහතා කියයි.

‘මට දැන් තිබෙන ලොකුම කරදරය තමයි මේ පණුවා නිසා අතිවෙලා තිබෙන ගැටලුව. මේ පණුවන් මර්දනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මේ ගැන කෘෂිකර්ම බලධාරීන්ට වගේම පර්යේෂණ අංශ වලට පවා දැනුම් දුන්නා. ඒත් මේ වන තෙක් මේ පණුවා මර්දනය කළ හැකි ක්‍රමයක් සොයා ගත නොහැකි වුණා‘

වගාව කාබනිකව සරු කර ගත්තද කෘමි හානි හා දිලිර රෝග වලට මෙතෙක් කාබනිකව ක්‍රමවේදයක් හෝ බෙහෙතක් ගොවීන්ට හඳුන්වා නොදීම බරපතළ තත්ත්වයක් බවද රතනපාල මහතා පෙන්වා දුන්නේය.

මෙවර තමා ලබා ගත් සුපිරි තක්කාලි අස්වැනන් සහ ලාභය ගැන අදහස් දැක්වූ රතනපාල ගොවි මහතා, ‘පසුගිය කාලයේ වෙළෙඳපොළ වසා දමා තිබුණු අවස්ථාවේ මට විශාල පාඩුවක් සිදු වුණා. නමුත් මෙවර තක්කාලි මිල ඉහළ යෑමත් සමග අස්වැන්නට නිසි මිලක් ලැබීම නිසා රුපියල් මිලියන 10ක පමණ ආදායමක් අක්කර තුන හමාහමාරක තක්කාලි වගාවෙන් ලබා ගැනීමට හැකි වුණා. ඒ නිසා අනෙකුත් වගාවන් සිදු කිරීමට මට හැකියාව ලැබුණා. කම්කරුවන් සඳහා වැටුප් ගෙවා නැවත වගාව ආරම්භ කිරීමට එය විශාල රුකුලක් වුණා‘

තක්කාලි වගාවට අමතරව තමා කාබනික සියයට හැත්තෑවක් රසායනික පොහොර සියයට තිහක් යොදාගෙන සාර්ථක කහ වගාවක් සිදු කරමින් සිටින අතර තවත් මාස කිහිපයකින් ඉතා සාර්ථක අස්වැන්නක් රටට ලබා දීමට තමාට හැකිවනු ඇති බව රත්නපාල මහතා කියා සිටියේය.

වැඩිදුරටත් තම වගාව පිළිබඳව අදහස් දැක්වූ රතනපාල ගොවි මහතා.

“පසුගිය කාලේ  තක්කාලි වගාවෙන් මම හොඳටම බැට කෑවා. කෝවිඩ් වසංගතය ආපු දවස් වල තක්කාලි ගස් යට කුණු වෙලා ගියා. අපේ කම්කරුවන් ගොඩ දෙනෙකුට රස්සා නැති වුණා. අපිටත්  අමාරු වුණා. හැබැයි කොහොම හරි මේ සැරේ ඒ පාඩුව පියවගන්න පුළුවන් වුණා”

“තක්කාලි වගාවේ විතරක් නෙවෙයි අනෙක් වගාවලත්  කාබනික පොහොර දාපුවහාම  අස්වැන්න  වැඩියි. ඒ වගේම අස්වැන්න නෙළා ගන්න තියෙන කාලයත් වැඩි වෙනවා. රසායනික පොහොර විතරක් දැම්ම නම් තක්කාලි මාස දෙකෙන් වගාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. දැන් මගේ තක්කාලි වගාවේ  අස්වැන්න නෙළා අවසන් වෙලා නැවත මල් හටගෙන ගෙඩි ඵල ගන්නවා. ඒව තමයි දැන් කඩන්නේ. තවත් අක්කර තුන හමාරක් වගා කරලා තියෙනවා. ඒවායේ දැන් තමයි මල් හට හටගන්නේ.”

“කොහොමහරි මේ ශාකවල මූල මණ්ඩලය ශක්තිමත් වුණහම හොඳට  ඵලදරනවා. සියට සීයක්  රසායනික පොහොර වලට යනවට වඩා ඉතා සෙමින් කාබනික වගාවට මම හුරු වුණු නිසා අද විශාල ජයග්‍රහණයක් ලබනවා. මම ගොවි මහත්තුරුන්ගෙන්  ඉල්ලා සිටින්නේ ක්‍රම ක්‍රමයෙන් මේ ක්‍රමයට හුරු වෙන්න කියලා”

“හැබැයි රජය එකපාරටම  රසායනික පොහොර තහනම් කළාම  අපටත් අමාරු වෙනවා. ඒ වගේම තමයි කෘමි හානි වලට,  දිලීර වලට අපට කිසිම සහනයක් නෑ. ගහ කොච්චර හැදුණත් වැඩක් නෑ අවසානයේදී අස්වැන්නට පණුවෝ ගහල කොළ වල දිලීර රෝග  ඇවිල්ලා වගාව විනාශ වෙනවා නම්. ඒ පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කළ යුතුයි”

” දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත්  බාල ඒවා.  එහෙම හරි මිලදී ගන්න නැහැ. තියෙන එකත් විශාල ගණනකට තමයි අලෙවි කරන්නේ. ඉදිරියේදී මේ පිළිබඳව රජයේ අවධානය යොමු කළොත් වඩාත් ගොවීන්ට හොඳ කාලයක් ඒවි.”

“මම ගොම පොහොර, එළු පොහොර සහ කුකුල් පොහොර ගෙනාවේ මිටියක් රුපියල් 100 ගානේ. දැන් ඒක 250 වුණා 400 වුණා,  500 වුණා. දැන් කිලෝවක් රුපියල් දහයකට තමයි දෙන්නේ. හැබැයි කිලෝ ගණන් ගන්න කොට ඒවායේ විශාල වශයෙන් වැලි එකතු වෙලා තියෙනවා. මේ   වැඩේ නොකළ යුතුයි. වගාවට ලබා දෙන කාබනික පොහොර සහ අනෙකුත් සෑම දෙයක්ම විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කරන්න ඕන. මොකද මේ රටේ ජනතාවගේ ආහාර නිෂ්පාදනය කරන නිසා මහපොළොවේ තියෙන වැලි පොහොර වගේ දාලා වැඩක් නැහැ. මේක කෘෂිකර්ම බලධාරීන් සහ අපි සියලු දෙනා අවබෝධයෙන් ක්‍රියා කළ යුතු වැඩක්.”

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts