හෙට සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

Spread the love

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ.

ලබන අප්‍රේල් 22 සහ 23 යන දිනවලදී, 2015 ජනවාරි 8 වැනිදා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථා සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරික්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇත.

එම දින දෙකේදී ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීමකින් තොරව පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

හෙට (20) දිනයේ දී විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 05ක්ද සුරා බදු ආඥා පනත යටතේ නියෝග 02ක් සහ ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව ඇත. එදින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කෙරෙනු ඇත.

ඊට අමතරව එදින පස්වරුවේ විපක්ෂයෙන් සභාව කල් තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න දෙකක් සඳහා පස්වරු 4:30 සිට විනාඩි 20ක කාලයක් වෙන්කර ඇති අතර, ඉන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කෝට්ටේ නගර සීමා බල ප්‍රදේශය පිළිබඳව ගෙන එනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදය සඳහා පස්වරු 4.50 සිට පස්වරු 5:30 දක්වා කාලය වෙන්කර ඇති බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඉන්පසු දිනය වූ අප්‍රේල් 21 වෙනිදා ලෝක උත්තේජන මර්දන නියෝජිතආයතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වා දෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය පිළිබඳව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය විවාදයට ගනු ලබන බව ද දසනායක මහතා පැවසීය.

එදින පස්වරු 4:30 සිට පස්වරු 4.50 දක්වා සභාව කල් තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න 02ක් සඳහා වෙන් කර ඇති අතර, පස්වරු 4.50 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර තිබේ.

Related Posts