හිටිහැටියේම ‘හදවත නතර වුණොත්‘ කරන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද ?

Spread the love

හිටිහැටියේ ම හෘදය වස්තුවේ ස්පන්දනය නතර වුවහොත් පුද්ගලයා සිහිසුන්ව ඇද වැටීමට එය හේතුවක් වේ ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියාන් එරික්සන් ගේ හෘදය වස්තුවේ ස්පන්දනය හිටිහැටියේ ම නතර විය. මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

පාපන්දු තරඟයකට සහභාගී වෙමින් සිටියදී ඔහුගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නතර වූයේ පසුගිය සෙනසුරාදා (ජුනි 12) ය.

නමුත් ඊට හේතුව කුමක් ද යන්න තවමත් වෛද්‍යවරුන්ට අපැහැදිලිය. එය සිදුවූයේ කෙසේද ; ඊට හේතුව කුමක්ද යන්න සොයා ගැනීම සඳහා වෛද්‍යවරු දැන් ප්‍රමුඛත්වය දී කටයුතු කරති.

“එය 29 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතයක්.” හෘද රෝග පිළිබඳ විශේෂඥ, මහාචාර්ය සන්ජේ ශර්මා බීබීසීයට පැවසීය.

“ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියල සොයා ගැනීම තමයි දැන් අපට අවශ්‍ය වෙලා තියෙන්නේ.”

බ්‍රිතාන්‍යයේ හෘද පදනම (BHF) පවසන පරිදි, හෘද ස්පන්දනය නතරවීමට (cardiac arrest) බලපාන සුලභ හේතූන් අතරින් එකක් වන්නේ හෘදයේ ස්පන්දන රිද්මය අසමාන වීමයි. මෙය මාරාන්තික විය හැකිය.

අනෙකුත් හේතු අතර cardiomyopathy නමින් හැඳින්වෙන ආබාධය ද පවතී. එමගින් හෘදය වස්තුවේ මාංශ පේශීන්වල පරිමාණය, හැඩය සහ ඝනකමට බලපෑමක් ඇතිකරවයි. එය පාරම්පරික ජාන මගින් ඇතිවිය හැකි රෝගයකි.

එමෙන්ම, හෘද මාංශ යම්කිසි ප්‍රදාහයකට (inflammation) ලක්වීම ද එහි ස්පන්දනය හිටිහැටියේ නතර වීමට හේතුවක් විය හැකිය.

Getty Images

සංකීර්ණ වූ ස්කෑන් පිටපත් රැසකට ක්‍රිස්ටියාන් එරික්සන් ගේ හෘදය භාජනය කොට පරීක්ෂා කරන ලදී. ඔහුගේ හදවතේ ඉතා සියුම් පලුදු හෝ අසාමාන්‍යතා පවතින බව ඉන් අනාවරණය වී ඇතැයි මහාචාර්ය සන්ජේ ශර්මා පැවසීය.

බ්‍රිතාන්‍යයේ පාපන්දු ක්‍රීඩකයන් උදෙසා සිදු කරනු ලබන සාමාන්‍ය හෘද ස්කෑන් පිටපත් මගින් මෙවැනි අසාමාන්‍යතා හඳුනාගත නොහැකි බව ද ඔහු තවදුරටත් පැවසීය. එවැනි සාමාන්‍ය ස්කෑන් පරීක්ෂාවන්, වයස අවුරුදු 16ත් 25ත් අතර සිටින සියලුම බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රීඩකයන්ට දෙවසරකට වරක් සිදු කිරීම අනිවාර්ය කොට තිබේ.

හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයේ හෝ එහි ව්‍යුහයේ යම් කිසි සැකකටයුතු දෙයක් වේදැයි සොයා බැලීම එහි අරමුණ වේ. වෛද්‍යවරුන් කෙතරම් විමසිලිමත් වුවද මෙවැනි පරීක්ෂාවකින්, මතුපිටින් නොපෙනෙන සියුම් ආබාධයන් සොයා ගත හැකි බවට 100%ක් සහතික විය නොහැකිය.

“මේ වගේ තත්ත්වයන් යොවුන් වියේ සිටින විටදී පෙන්නුම් කෙරෙන්නේ නැහැ. වයස අවුරුදු 25-30 ඉක්මවා යනතුරු එවැනි සියුම් ආබාධ බොහෝවිට දැකගන්නට ලැබෙන්නේ නැහැ.” මහාචාර්ය ශර්මා පැවසීය.

ක්‍රීඩකයෙකුගේ නම් මෙවැනි අසාමාන්‍යතා ඇතැම් විට ක්‍රීඩා තරඟයක් අතරමැද සිදුවිය හැකිය. නැතහොත් හෘදය වස්තුවට පීඩාවක් දැනවිය හැකි මට්ටමේ, මෑතක දී හටගත් වෙනත් අසනීපයකට මෙය සම්බන්ධතාවක් පැවතිය හැකිය.

හෘදය වස්තුවේ එවැනි සියුම් අසාමාන්‍යතාවක් හඳුනා ගතහොත් ඇතැම් අවස්ථාවලදී ඒවාට ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකිය. ඇතැම් විට එම හානිය ආපසු හැරවිය නොහැකි හෝ සුවකළ නොහැකි එකක් විය හැකිය.

හදවත නතර වුණොත්…?

හිටිහැටියේ ම හෘදය වස්තුවේ ස්පන්දනය නතර වුවහොත් සිරුර පුරා රුධිර ගමනාගමනය නතර වෙයි. එවිට මොලයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම නවතී. පුද්ගලයා සිහිසුන්ව ඇද වැටීමට එය හේතුවක් වේ. මේ අවස්ථවේදී හුස්ම ගැනීම ද නවතී.

Getty Images

මෙය හෘදයාබාධයකට (heart attack) වඩා වෙනස් රෝග තත්ත්වයකි. හෘදයාබාධයක් (heart attack) ඇතිවන්නේ හෘදයේ මාංශ පේශියට රුධිර සැපයුම නතර වූ විටදී ය. මෙය බොහෝ විට සිදු වන්නේ රුධිර කැටියකින් කිරීට ධමනියක් අවහිර වූ අවස්ථාවකදී ය.

‘විරල සිදුවීම්’

හෘද ස්පන්දනය නතරවීමට (cardiac arrest) ගොදුරු වූ එකම ක්‍රීඩකයා ක්‍රිස්ටියාන් එරික්සන් නොවේ.

2012 වසරේ දී තවත් පාපන්දු ක්‍රීඩකයෙක් තරඟයක් අතරතුර පිටිය මැද සිහිසුන්ව ඇද වැටුණි. ඒ Fabrice Muamba ය. ඔහුගේ හදවත විනාඩි 78ක් නතර වී තිබුණි.

Marc-Vivien මරණයට පත් වූයේ කැමරූන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ය. මිය යන විට ඔහු 28 හැවිරිදි විය.

Spurs කණ්ඩායමේ පුහුණුකරු වූ Ugo Ehiogu 2017 දී මිය ගියේය. මිය යන විට 44 හැවිරිදි වූ ඔහු එංගලන්ත කණ්ඩායාමේ හිටපු ක්‍රීඩකයෙකි.

“ක්‍රීඩකයන් සීමාව ඉක්මවා ශාරීරික ව්‍යායාම කිරීමේදී ඔවුන් අවදානමකට ලක්වෙනවා; ඒ හෘදය වස්තුවට දැඩි පීඩාවක් ඇතිවන නිසා. ඒක ප්‍රශ්නයක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.” ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයේ, ක්‍රීඩා ඖෂධ අංශයේ ප්‍රධානි වෛද්‍ය සෆාර් ඉක්බාල් පැවසීය.

“නමුත් මේවා ඉතා විරල සිදුවීම්.” ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

ක්‍රීඩකයන්ට පමණක් නොවේ; හෘද ස්පන්දනය නතරවීම (Cardiac arrests) ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය.

හිටිහැටියේ හදවත නතර වී වයස අවුරුදු 35ට අඩු 12 දෙනෙක් සෑම සතියකම මහා බ්‍රිතාන්‍යය තුළ මරණයට පත්වෙති.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ රෝහල්වලින් පිටත දී වසරකට පුද්ගලයන් 30,000 ගේ පමණ හෘද ස්පන්දනය නතරවීමෙන් අනතුරුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා සඳහා යොමු කෙරෙති. නමුත් ඉන් දිවි ගලවා ගන්නේ දස දෙනෙකුගෙන් එක් අයෙකු පමණි.

Getty Images

සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩකයන්ගේ හෘදය වස්තුව අනෙක් පුද්ගලයන් හා සසඳන විට තරමක් විශාල වන අතර වැඩි කාර්යක්ෂමතාවකින් ක්‍රියා කරයි. එම නිසා හෘදය වස්තුව සම්බන්ධ, රුධිර නාල හෝ හෘද නාල අවහිර වීම වැනි වෙනත් රෝග ඇතිවීමේ අවදානම ඔවුනට අඩුය. එවැනි තත්ත්වයන් බොහෝ විට දක්නට ලැබෙන්නේ දුම් පානය කරන්නන් සහ සෞඛ්‍යයට අහිතකර ආහාර රටාවන් සහිත පුද්ගලයන් අතරය.

නමුත් විජලනයෙන්, වැඩි උෂ්ණත්වයෙන් හෝ මෑතක දී ඇතිවූ වෙනත් අසනීප තත්ත්වයකින් හෘදය වස්තුවට අතිරේක ආතතියක් හෝ වෙහෙසක් ඇතිවේනම් ඉන් අනතුරුදායක බලපෑමක් ඇති විය හැකිය.

‘හැම තත්පරයක්ම වටිනවා’

කෙනෙකුගේ හෘද ස්පන්දනය හදිසියේ නතර වූයේ නම් කෘත්‍රිම ස්වසනය (CPR) ලබා දීම කඩිනමින් ආරම්භ කිරීම සහ හෘදය නැවත පණගැන්වීම සඳහා විදුලි කම්පනය ලබා දිය හැකි යන්ත්‍රයක් (automated external defibrillator) භාවිත කිරීම ඉතා තීරණාත්මක වනු ඇති බව වෛද්‍ය ඉක්බාල් පැවසුවේය. පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියාන් එරික්සන් ගේ ජීවිතය බේරා ගැනීමට ද එම ක්‍රමවේදයන් වහා ක්‍රියාත්මක කර තිබේ.

හෘදය වස්තුව නැවත පණ ගැන්වීම සඳහා විදුලි කම්පනය ලබා දිය හැකි යන්ත්‍රයක් සෑම ද්විතීයික පාසලකටම ලබා දීම වැදගත් බව වෛද්‍ය ඉක්බාල් පවසයි.

“පමා වන හැම මිනිත්තුවකින් ම ජීවිතය බේරා ගැනීම සඳහා තිබෙන අවස්ථාවෙන් 10%ක් අහිමි වෙනවා.” ඔහු පැවසීය.

iStock

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී කෘත්‍රිම ශ්වසනය ලබා දීම මගින් ජීවත් කරවීමේ හැකියාව දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යන බව වෛද්‍ය මතයයි.

“හෘද ස්පන්දනය නතර වූ කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී හැම තත්පරයක්ම වටිනවා. කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය ගැන දන්නා උදවිය සමාජයේ වැඩි වන තරමට බේරා ගත හැකි ජීවිත ගණන වැඩි වෙනවා.” බ්‍රිතාන්‍ය හෘද පදනමේ සහකාර වෛද්‍ය අධ්‍යක්‍ෂ, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෝන්යා බාබු-නාරායන් පැවසුවාය.

දියුණු රටවල නම් ගුවන්තොටුපල, වෙළෙඳ සංකීර්ණ සහ ප්‍රජා මධ්‍යස්ථාන වැනි ස්ථානවලට හෘදය පණ ගැන්වීම සඳහා විදුලි කම්පන ලබා දිය හැකි යන්ත්‍ර සපයා තිබේ.

එවැනි යන්ත්‍ර ඕනෑම කෙනෙකුට භාවිත කළ හැකි පන්නයේ ඒවාය. ඒ සඳහා විශේෂඥ දැනුමක් හෝ පුහුණුවක් අවැසි නොවේ.

එම යන්ත්‍ර මගින් සිදු කෙරෙන්නේ රෝගියාගේ හෘද ස්පන්දන රිද්මය ස්වයංක්‍රියව පරීක්ෂාවට ලක් කිරීමයි. එමගින් විදුලි කම්පනයක් නිකුත් කෙරෙන්නේ එවැන්නක් අවශ්‍ය මොහොතක පමණි.

වෙනස?

කෙසේ වෙතත්, කලින් සඳහන් කළ පරිදි, හෘදයාබාධයක් (heart attack) සහ හෘද ස්පන්දනය නතරවීම (cardiac arrest) අතර වෙනස හොඳින් වටහා ගැනීම ඉතා වැදගත් වේ.

Thinkstock

පුර්ව හෘදයාබාධ ලක්ෂණ

  • පපුවේ වේදනාව – දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම
  • ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම – පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම් අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
  • ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
  • දහදිය දැමීම
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • වමනය දැමීමේ අවශ්‍යතාව – අසනීප ගතියක් දැනීම
  • අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).
  • කැස්සක් හෝ ඇදුම ස්වභාවය.

ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.

හෘදයාබාධයක් ඇතිවීමට මාසයකට පෙරදී ම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන් වෙතින් දිස් විය හැකි බව මෑතකදී කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ.

හෘදයාබාධයකින් මිය ගිය ඇතැම් රෝගීන්ගෙන් මාසයකට පමණ පෙර සිට පපුවේ වේදනාව, කෙටි ආශ්වාස ප්‍රාශ්වාසය සහ ක්ලාන්ත ගතිය වැනි රෝග ලක්ෂණ දිස්වන අතර එය කලින් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව පවතින බව ද එම කණ්ඩායම පෙන්වා දෙයි.

හදවතේ නිරෝගී බව වර්ධනය කළ හැක්කේ කෙසේද?

Getty Images

ජීවන රටාව වෙනස්කර ගැනීම මගින් හදවත් සෞඛ්‍යය වර්ධනය කරගත හැකි බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ විශේෂඥයෝ පෙන්වා දෙති.

දුම්පානය නවතා දැමීමෙන් වසරකට පසුව යම් පුද්ගලයෙක්, දිගින් දිගටම දුම් පානය කරන පුද්ගලයෙක්ට වඩා අඩකින් හදවත් රෝග ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමට සමත්වන බව ඔවුහු විශ්වාස කරති.

සතියකට අවම වශයෙන් පැය දෙකහමාරක කාලයක් බයිසිකල් පැදීම, වේගයෙන් ඇවිදීම වැනි ව්‍යායාම කිරීම මගින් හදවත් රෝග සහ ආඝාත ඇතිවීමේ අවදානම අඩුකර ගතහැකි බවත්, ආහාරයට ගන්නා පළතුරු සහ එළවලු ප්‍රමාණය තුනේ සිට පහක් දක්වා වර්ධනය කරගැනීම මගින් හෘදයාබාධ හෝ ආඝාතය වැළඳීමේ අවදානම අඩුකර ගත හැකි බවත් මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය නිරීක්ෂණය කර ඇත.

  • දුම්පානය අත්හරින්න
  • ක්‍රියාශීලී වෙන්න
  • ඔබේ බර පාලනය කරගන්න
  • කෙඳි සහිත ආහාර වැඩියෙන් අනුභව කරන්න
  • මේද පිරුණු ආහාර අඩුකරන්න
  • ලුණු භාවිතය අඩු කරන්න
  • මාලු ආහාරයට එක්කර ගන්න
  • මද්‍යසාර අඩුවෙන් පානය කරන්න
  • ආහාරවල ඇසුරුමේ ඇති තොරතුරු කියවන්න

උපුටා ගැනීම බී.බී.සී සන්දේශය

Related Posts