සුළු හෝ රෝගී තත්ත්වයක් ඇත් නම් ගර්භණී මවුවරු වහාම රෝහල් ගත විය යුතුයි

Spread the love

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවත් එනිසා සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම්දෙයි.

අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සරත් ලැනරොල් මහතා, ” වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය තුළ ගර්භණී කාන්තාවන් දැඩි අවදානමකට ලක්ව සිටිනවා. මේ වන විට ගර්භණී කාන්තාවන් කිහිප දෙනකු කොවිඩ් අසාදනය නිසා හටගත් රෝගී තත්ත්වයන් නිසා ජීවිතක්ෂයට පත්ව සිටිනවා. ඒ වගේම 200කට අධික පිරිසක් කොවිඩ් ආසාදනය නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ තත්ත්වය තුළ ඉතාමත්ම සුුළු රෝගී තත්ත්වයක් පැවතුනත් ගර්භණී ඔබ හැකි ඉක්මණින්ම රෝහලකට ඇතුළු වෙන්න. එසේ නොමැතිව රෝගී තත්ත්වය බරපතළ වී රෝහල්ගත වෙන්න වුණොත් ඇතිවෙන සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්.”

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කාසල් වීදිය කාන්තා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේ සංචරණ සීමා පනවා තිබුණ ද කාසල් වීදියේ කාන්තා රෝහලේ සිදු කෙරෙන සියලුම සායනික කටයුතු එලෙසම ක්‍රියාත්මක වන බවත් සංචරණ සීමා පැවතියත් මව්වරුන්ට සහ දරුවන්ට ඒ සායනික දිනයේදී පැමිණීමේ හැකියාව තිබෙන බවයි.

Related Posts