‘සිලෝන් ටී Ceylon Tea’ සන්නාමය විනාශයේ දොරකඩ

Spread the love

අපනයන තේ මිල ජූලි තුන් වන සතියේ තවදුරටත් පහත වැටී ඇත. ‘සිලෝන් ටී‘ තත්වයෙන් බාලවීම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුවයි. කර්මාන්ත ශාලා වෙත දෛනිකව ලැබෙන දළු ප්‍රමාණය වේගයෙන් පහත වැටෙමින් ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජූලි 19 හා 20 තේ වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ කිලෝ මිලියන 6.8 ක් පමණී.  පෙර සතියේ තේ අලෙවිය කිලෝ මිලියන 7.1 ක් විය.

පසුගිය සතියේ පහත රට තේ කිලෝවක් සඳහා රු. 630.10 ක සාමාන්‍ය මිලක් ලැබී ඇත. එය පසුගිය සතියට වඩා 7.7% මිල ඉහල යාමකි. රසායන ද්‍රව්‍ය හිඟයෙන් දැඩිව බැට කන උඩරට තේ කිලෝවක සාමාන්‍ය මිල රු. 545.47 කි.  එය පසුගිය සතියටත් වඩා රු. 20 – 30 අතර අඩුවකි. ඌව තේ මිල ස්ථාවර මට්ටමක පැවතිනි.

වාර්ෂිකව පොහොර ගෙන්වීමට ඩොලර් මිලියන 250 ක් වැය වන අතර, කිරි (පිටි) ඇතුළු නිෂ්පාදන ගෙන්වීමට ඩොලර් මිලියන 333 ක් වැය වේ. ඩොලර් හිඟය නිසා රජය පොහොර ගෙන්වීම තහනම් කළ නමුත් කිරි පිටි ගෙන්වීම සීමා කළේ නැත.

‘කාබනික තේ නිෂ්පාදනය කරමු‘ යැයි දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන නමුත් සතිපතා තේ මිලත්, නිෂ්පාදනයත් පහත වැටෙමින් ඇත. තේ නිෂ්පාදනයේ සිව්වන විශාලතම පංගුව ලංකාවට හිමිය.  චීනය, ඉන්දියාව හා කෙන්යාවට අපට ඉදිරියෙනි. 

තේ අපනයනයෙන් ලංකාවට වසරකට ඩොලර් මිලියන 712 ක් උපයන විට ඉන්දියාව ඩොලර් මිලියන 692 ක් ඉපැයීය.  තවදුරටත් ලංකා තේ තත්වය හා නිෂ්පාදනය පහත වැටෙන්නේ නම්, ඉන්දියාව තේ වෙළෙදාමේ දී අප පසුකර යනු ඇත.

වැරදි ප්‍රතිපත්තිමය තීරණයක් වසර 150 ක් ගොඩ නැගු ‘සිලෝන් තේ‘ සන්නාමය විනාශ කරනමින් සිටී.

රජිත් කීර්ති තෙන්නකෝන්

Related Posts