සාර්ථක කොවිඩ් පාලනය අතරතුර ගෙනයන අසත්‍ය ප්‍රචාර එයට බාධාවක්. – සෞඛ්‍ය ඇමති

Spread the love

සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්  ඩේවිඩ් හෝලි (David Holly) මහතා පවසයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද පවතින බවත් එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවත් මහ කොමසාරිස් වරයා කීය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ අද (13) එම අමාත්‍යාංශයේදී පැවති හමුවකදී හෙතෙම මේ බව කීය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සුබ පැතුම් එක් කරනු ලැබීය.

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් එයට ප්‍රසාදය පිරිනැමෙන බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී කීය. විශේෂයෙන් එන්නත්කරණය උපරිමයෙන් සිදු කෙරෙන අතර කොවිඩ් පාලනයට ගන්නා උත්සාහය අගය කෙරෙන බවද හෙතෙම කීය.

මෙරට සෞඛ්‍ය සේවාව ඇතුළු කොවිඩ් පාලනය සඳහා වන ඉදිරි පෙළ ක්‍රියාකාරීන් සිදු කෙරෙන කාර්යභාරය අගය කරන බවද විදෙස් තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලිධාරීන්ද මෙම සේවාවට ලක්වන පිරිස අතර සිටින බවද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළේය.

මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11 ක පමණ ආධාර කොවිඩ් පාලන ක්‍රියාවලිය වෙනුවෙන් මෙරටට ලබා දී ඇතැයිද හෙතෙම පැවසීය. මේ අතර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයට මෙම වසරට වසර 75 ක් පිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මහ කොමසාරිස්වරයා විසින් සමරු තිළීණයක්ද පිරිනැමීය.

මෙරට මේ වන විට සිදු කරමින් පවතින එන්නත්කරණ ක්‍රියාවලිය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සහයෝගය දැඩිව අගය කරන බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සහය තවදුරටත් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එන්නත්කරණය හා සමගාමීව මෙරට ආර්ථිකය ගොඩනැංවීම කෙරෙහි රජය මේ වන විට දැඩි අවධානය යොමුකර ඇතැයිද එනිසා ඉදිරියේදී පියවරෙන් පියවර රට විවෘත තරමින් ආරථිකය නගා සිටුවීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

මේ අතර ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) මහතාද අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු විය. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර වෛද්‍ය හා සෞඛ්‍ය සේවාවේ දැනුම සහ තාක්ෂණය හුවමාරු කිරීම පිළිබඳව මාලදිවයින් මහ කොමසාරිස්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර මෙහිදී අදහස් හුවමාරු විය. මේ අතර මෙරට වෛද්‍ය සේවාවේ සහය මාලදිවයිනට ලබා දෙන ලෙසද මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය.

මේ වන විට මෙරට වෛද්‍ය සේවාවේ සෑම අයෙකුගේම උපරිම සේවාව රටතුළ කොවිඩ් පාලනය කිරීම වෙනුවෙන් ලබා දෙන බවද එනිසා විශ්‍රාමික වෛද්‍යවරුන්ගේ සේවාව මාලදිවයිනට ලබා දීම පිළිබඳව සාකච්ඡා කළ හැකි බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය හා කොවිඩ් පාලනය සාර්ථකව සිදුකරන බවත් මෙරට ජීවත් වන මාලදිවයින් ජාතිකයින් ඇතුළු විදෙස් ජාතිකයින්ටද රට තුළ ලබා දෙන සෞඛ්‍ය සේවාව වඩාත් අගය කරන බවත් මාලදිවයින් මහ කොමසාරිස්වරයා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් සහභාගි විය.     

Related Posts