සතොසේ හොරකම් එළිපිටද? රහසේද?: ශ්‍රී ලංකාවේ නම්බුකාර හොරකම්

Spread the love

දේශපාලන බලපෑම් හමුවේ ස්වාධීනව රාජකාරි කළ නොහැකි බව කියමින් රජයේ තනතුරු හා වගකීම්වලින් නිලධාරීන් අස්වීමේ සිදුවීම් ගණනාවක්ම පසුගිය දිනවල වාර්තා විය. පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ද ඒ අයුරින් තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඉල්ලා අස්වීමට බලපෑ පරිසරය හා එහි පසුපස ඇති මාෆියාව ගැන ඔහු සමඟ කළ සංවාදයකි මේ.

ප්‍රශ්නය:- ඔබේ මේ ඉල්ලා අස්වීමට තුඩු දුන් මූලික සිදුවීම මොකක්ද?
පිළිතුර:- සැප්තැම්බර් 9 උදේ මට ලංකා සතොසෙන් කෝල් එකක් ආවා. එතකොට මම සභාපතිවරයාත් සමග හිටියේ. වැලිසර තොග ගබඩාවකින් සුදු ලූනු කිලෝ පනස් දාහකට වැඩි තොගයක් පන්නන වැඩක් යනවා කියල තමයි තොරතුර ලැබුණේ.  මම ඒ වෙලාවෙම අපේ ටීම් එකක් එතැනට යවලා ඒ වැඩේට අදාළ ලේඛනවල ඡායාරූප ගන්න උපදෙස් දුන්නා. මොකද තොරතුරට අනුව එතැන වෙමින් තිබුණේ කලින් දවසෙ හොර රහසේ ව්‍යාපාරිකයකුට සුදු ලූනු කන්ටේනර් දෙකක් මුදාහැරලා ඒකට අදාළ ව්‍යාජ ලේඛන සැකැසීමක්. ඒ සඳහා ගිහින් තිබුණෙත් ලංකා සතොසෙ හෙඩ් ඔෆිස් එකෙන්. මේ ලූනු තොගය තිබුණේ මහජනතාවට විකුණන්නයි. මොකද දැන් තොග විකුණන්නැතිව මහජන අවශ්‍යතාවට සිල්ලරට දෙන්න කියලා කැබිනට් තීරණයක් තිබෙනවා. මෙතන බරපතළම කාරණය වුණේ කිලෝව රුපියල් 135 ගානේ බිල්පත් කිසිවක් නිකුත් කරන්නේ නැතිව තොග වෙළෙන්දට විකුණලා රුපියල් ලක්ෂ 73ක් සල්ලි අරගෙන. එහෙම කරන්න උපදෙස් දීලා තිබෙන්නේ සතොසෙ ප්‍රධාන කාර්යාලයේ කෙනෙක්. සල්ලි අරගෙන සේප්පුවේ දාලා.

ප්‍රශ්නය:- තොග වෙළෙන්දා ඒ ලූනු තොගයට මොකද්ද කරන්නේ?
පිළිතුර:- ඒක තමයි බරපතළම කාරණය. මේ වෙළෙන්දත් ලංකා සතොසේ සැපයුම්කරුවෙක්. මොහු සතොසෙන් කිලෝව රුපියල් 135ට ගත්ත ලූනු නැවත සතොසට රුපියල් 450 ගානේ විකුණනවා. ඒක තමයි ගේම් එක. මීට කලින් මේ විදියටම උඳු කන්ටේනරයක් විකුණලා තියෙනවා. ඒ කියන්නේ උඳු කිලෝ විසි පන්දාහක් විතර. මීටත් කලින් සීනි, පිටි, පාන්පිටි ආදී භාණ්ඩ රැසක්ම මේ විදියට එලියට විකුණලා තියෙනවා. ඒ කියන්නේ වරායෙන් ගේන බඩු තොග මිලට විකුණනවා හොර පාරෙන්. එක පුද්ගලයකුට මෙහෙම කිලෝ පනස් දාස් ගාණක් දෙන්න තීරණය කළේ කොහොමද කියන එකම ප්‍රශ්නයක්.

ප්‍රශ්නය:- මේ සිදුවීමට ඉහළ කළමනාකාරිත්වය සම්බන්ධ නැති බවට සිදුවීම වාර්තා වූ විගස මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් වුණා. එහෙම ක්ෂණිකවම විනිශ්චය කළේ කොහොමද?
පිළිතුර:- ඒක මහ විහිළුවක්. එතැන කාරණා දෙකක් තියෙනවා. අංක එක මූලික විමර්ශනයක්වත් නොකර එහෙම කියන්නෙ කොහොමද? අංක දෙක මොහොතකට එහෙම හිතුවත් ඉහළ කළමනාකාරිත්වය නොදැන මෙහෙම දේවල් වෙනවා නම් ඒ ඉහළ කළමනාකාරිත්වයෙන් වැඩක් නෑනෙ.

ප්‍රශ්නය:- මේ සිදුවීම සාමාන්‍ය මිනිසුන්ට තවත් සරලව කිව්වොත්?
පිළිතුර:- මිනිස්සුන්ගේ සල්ලිවලින් ආහාර ද්‍රව්‍ය ආනයනය කරලා ඒවා වෙළෙන්ඳන්ට තොග ගානට විකුණලා ඒ වෙළෙන්ඳගෙන්ම නැවතත් වැඩි මිලට සතොසට මිලදීගැනීමේ කූට වැඩක්. මේ වැඩේ තේරුම මොකක්ද?

ප්‍රශ්නය:- සිදුවීමට අදාළ අපරාධ විමර්ශනය තිබෙන්නේ කොතැනද?
පිළිතුර:- තොරතුර ලැබුණ ගමන් මම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය හොබවන නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකතනයෙන් තොරතුර දුන්නා. ඔහු මට කිව්වේ ඇවිල්ලා පැමිණිල්ලක් කරන්න කියන එක. මේක මේ මොහොතේ සිදුවන දෙයක් නිසා මට පුළුවන් දෙයක් මම කරගන්නම් එහෙනම් කියල ඊට පස්සෙ රාගම පොලිසියට කතා කළා. ඒ පොලිස් ස්ථානාධිපතිවරයා හැකි සහායක් දෙන්න පොරොන්දු වුණා. ඒත් අපි අපේ රාජකාරිය කළා.

ප්‍රශ්නය:- සිදුවීමට අදාළ සාක්ෂි පාරිභෝගික අධිකාරිය සතුයි. විමර්ශනයක් කරනවද?
පිළිතුර:- අපි දැන් කරන්නේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒක දැන් බාරගෙන තියෙනවනෙ. වෙළෙඳ අමාත්‍යාංශය සමහර විට ඒ අයට කියන්න ඇති.

ප්‍රශ්නය:- මේ සිදුවීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරියට බලය තිබෙනවා නේද?
පිළිතුර:- මේක මහා පරිමාණ හොරකමක්නෙ. අපරාධ පරීක්ෂණයකින් මේකට සම්බන්ධ සියලු දෙනා අල්ලගන්න ඕනේ. අපි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එහා දෙයක් එතැන තියෙනවා.

ප්‍රශ්නය:- කැබිනට් තීන්දුවක් ගත්තාම ඒකත් උල්ලංඝනය කෙරුණා නම් මේක කැබිනට්ටුවටත් උඩින් වෙන වැඩක්ද?
පිළිතුර:- අනිවාර්යයෙන් මේ ගැන කැබිනට්ටුවේ අවධානයට ලක්වෙන්න ඕනෑ. මේක රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. මේක එක මනුස්සයෙක්ගෙ වැඩක් නෙවෙයිනෙ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙනම ආයතනයක්. සභාපති, අධ්‍යක්ෂවරු, ප්‍රධාන විධායක කියලා තනතුරුවලට පත්වීම් කරලා මේ වංචා නවත්තන්න කී දෙනෙක්ට පඩි ගෙවනවද? එතකොට මේ කිසි දෙයක් සාර්ථක වෙලා නෑනෙ.

ප්‍රශ්නය:- මේක පෙට්ටි කඩයක වෙච්ච හොරකමක් නෙවෙයි. මේ වායේ පසුපස ඉන්නෙ කවුරු කියලද ඔබ හිතන්නේ?
පිළිතුර:- මේක පොඩි තැනකින් වෙන දෙයක් නම් නෙවෙයි. විධිමත් පරීක්ෂණයක් කරල මේවාට සම්බන්ධ කට්ටිය හොයාගන්න ඕනෑ. ඉහළ කළමනාකාරිත්වය සම්බන්ධ නෑ කියල කියන්න ඉක්මන් නොවී සී.අයි.ඩී එක මේක කරාවි කියල මම විශ්වාස කරනවා. සිදුවීමක් වුණාම ඉහළ බලධාරීන් මම දන්නේ නෑ කියන එකත් මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. එතකොට මේවායේ වගකීම ගන්නේ කවුද? මේ මහජනතාවගේ සල්ලි. හරි නම් මේ දේවල්වලට සියලුම බලධාරීන් වගකියන්න ඕනෑ.

ප්‍රශ්නය:- විමර්ශන ක්‍රියාවලිය ගැනත් විශ්වාසය තැබීම අපහසු නම් අල්ලස් හෝ වංචා දූෂණ කොමිසම වැනි තැන්වලට මේවාට ස්වාධීනව මැදිහත් විය හැකි නැද්ද?
පිළිතුර:- ඔව්. ඒ අයට මේ සිදුවීමේ තවත්දුරට ගිහින් බලන්න පුළුවන්. වැඩේ තියෙන්නේ විමර්ශනය අන්තිමේදී කඩකාරයෙක් වගේ පොඩි මිනිහෙක් ඉස්සරහට දාලා අපි දන්නේ නෑ කිව්වොත් ඔක්කොම ඉවරයි. මේකට සම්බන්ධ අය තරාතිරම නොබලා අල්ලගන්න ඕනෑ.

ප්‍රශ්නය:- දුරකතන දත්ත පරීක්ෂා කිරීම වැනි තියුණු විමර්ශනයක් කළොත් මේ හොරකමේ තෝරු මෝරු අල්ලන්න අපහසුයි කියල ඔබ හිතනවද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම අල්ලන්න පුළුවන්. දැන් දියුණු තාක්ෂණයක් තිබෙනවා. අපරාධ විමර්ශනය ස්වාධීනව සිදුවෙන්න දුන්නොත් පුළුවන්. මට මතක නෑ වගේ දේවල් නොවුණොත් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ රටේ වෙන්නේ මම දන්නේ නෑ මට මතක නෑ වගේ දේවල්. එහෙම බෑ. මිනිසුන් අතින් සමහර විට අතපසුවීම් වෙන්න වුණත් පුළුවන්. අඩු ගානේ තමන් වැරැද්දක් කරලා නැත්නම් ඉල්ලා අස්වීම වැනි පියවරකටවත් යන ශිෂ්ටසම්පන්න ක්‍රමයක් මේ රටට ඕනෑ.

ප්‍රශ්නය:- තනතුරට පැමිණි දවසේ සිට මේ දක්වා කරපු වැඩ ගැන දැන් මොකද හිතෙන්නේ?
පිළිතුර:- යම්කිසි වැඩ කොටසක් කළා. ඒ නිසා සතුටක් තිබෙනවා. අවුරුදු ගණන් ගොඩගැහිලා තිබුණු ලිපිගොනු පන්සීයකට අධික සංඛ්‍යාවක පැමිණිලි අවසන් කළා. විමර්ශන කඩිනම් කරන්න ක්‍රමයක් හැදුවා. අසාධාරණයට ලක් වූ පාර්ශ්වයන්ට බොහෝ සහන ලබා දුන්නා. පාරිභෝගික අධිකාරියට වෘත්තියභාවය ඇතිකරන්න අපට පුළුවන් වුණා. ඒ වුණාට ඉතින් තව වැඩ ගොඩක් කරන්න තිබෙනවා.

ප්‍රශ්නය:- රජයේ සංස්ථා හා අධිකාරින්හි ඉහළ තනතුරුවල පුද්ගලයන් පත්කිරීමේදී මේ ආණ්ඩුව වෙනම කමිටුවකින්  සුදුස්සන් තෝරාගැනීමක් කළා. එහි ප්‍රතිඵලයක් වුණාද?
පිළිතුර:- එහෙම තේරුවාට සුදුස්සන්ම තේරුණාද කියල දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයම ඒකට උදාහරණයක්. සුදුසුකම් නැතිව පාරිභෝගික අධිකාරිය වැනි ආයතනයක් දුවන්නම බෑ.

ප්‍රශ්නය:- ආණ්ඩු හා පක්ෂ මාරු වුණත් ඇතැම් විෂයන්ට අදාළ දේශපාලන විධායක තනතුර සමහර තැන්වලදී දරල තිබෙන්නේ එකම පුද්ගලයෝ?
පිළිතුර:- ඒක තමයි මම කියන්නේ අපේ දේශපාලනය හා රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරු විධිමත් වෙනසක් අවශ්‍යයි. දේශපාලකයන් සම්බන්ධ වෙලා කරන මේ වැඩවලදී වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ඊට අවභාවිත වීම. ඒ වගේ පසුබිමක් ඇතුලේ රාජ්‍ය නිලධාරීන්ට කෙළින් වැඩ කරන්න ටිකක් අමාරුයි.

ප්‍රශ්නය:- හැබැයි දේශපාලනීකරණය වූ රාජ්‍ය ආයතන පද්ධතියට වියතුන් පත්කර වෙනසක් කිරීම මේ ආණ්ඩුව බලයට එද්දී දීපු ප්‍රධාන පොරොන්දුවක්. මේ වගේ සිදුවීම්වලදී ඒ වියතුන් බේරාගන්න වැඩපිළිවෙළක් හදල තිබුණේ නැද්ද?  
පිළිතුර:- නෑ. එහෙම වැඩපිළිවෙළක් හදලා තිබුණේ නෑනෙ. ඒක තමයි ප්‍රශ්නය. එහෙම බලපෑම් කණ්ඩායමුත් නෑ දැන්. ඒක දැන් ඔබලාටත් පැහැදිලිවම පේනවනේ.

ප්‍රශ්නය:- පාරිභෝගික අධිකාරිය යටතේම ලියාපදිංචි වූ පාරිභෝගික සංවිධානම සිය ගණනක් තිබෙනවා. මෙවැනි දේකදි ඔවුන්ට තීරණාත්මක බලපෑමක් කරන්න බැරිද?
පිළිතුර:- ඔවුන්ට විතරක් ඒක කරන්න බෑ. මෙවැනි තීරණාත්මක සිදුවීමකදී රාජ්‍ය පැත්තෙන් ගන්න ප්‍රවේශය වැදගත්නෙ. ප්‍රවේශය වැරැදි වුණාම එතැනින් එහාට ඔක්කොම වැඩ වරදිනවනෙ.

ප්‍රශ්නය:- ඒ කාරණය තව පැහැදිලි කරන්න පුළුවන්ද?
පිළිතුර:- අපි කියන්නේ මේක විවෘත ආර්ථික ක්‍රමයක් කියලා. හැබැයි දැන් මිල පාලනයක් කරනවා. අපට ආවේණික ක්‍රමයක් හදාගත්තට කමක් නෑ. හැබැයි ආර්ථික විද්‍යාවේ මූලික ප්‍රතිපත්ති කියල දේවල් තියෙනවා. ඒ දේවල් අභ්‍යාස කරන්නේ නැතිව රටක ආර්ථිකයක් අපි ඉදිරියට ගෙනියන්නේ කොහොමද? ඒ කියන්නේ අපි එක පැත්තකින් ආයෝජකයන්ට එන්න කියනවා. තව පැත්තකින් සීමා පනවනවා. තව පැත්තකින් පෞද්ගලික අංශය සතුව තිබෙන ද්‍රව්‍ය වටලනවා. මේක පටලැවිල්ලක්. මෙහෙම වෙන්නේ රටකට ආර්ථික ප්‍රතිපත්ති නැතිවුණාම. මේ රටට ආර්ථික ප්‍රතිපත්ති හදල නෑ. එන එන ඇමැතිටයි ආණ්ඩුවටයි ඕනෑ විදියට ප්‍රතිපත්ති හදලා තිබෙන්නේ. උදේ නැගිටිද්දි තිබෙන ප්‍රතිපත්තිය රෑ නින්දට යද්දි වෙනස් වෙනවා නම් ඒ රටට ගමනක් නෑ.

ප්‍රශ්නය:- මේ නූල් බෝලේ ලිහාගන්නෙ කොහොමද?
පිළිතුර:- නූල් බෝලේ ලිහන එක නම් ටිකක් අමාරුයි දැන්. හැබැයි අඩු ගානේ අපි සෞභාග්‍යයේ දැක්ම හරහා ජනතාවට පොරොන්දු වෙච්ච වැඩ කොටස කළා නම් රට තරමක් හෝ දුරට හැදෙනවා. ජනාධිපතිවරුන්ටයි ඇමැතිවරුන්ටයි අවශ්‍ය දේවල් නැතිව රටට ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනෑ. අත්‍යවශ්‍ය භාණ්ඩවලට මිල පාලන දැම්මාම මොන ආයෝජකයද ඒ රටට එන්නේ? අපට නිසි ආර්ථික වැඩරාමුවක් ඕනෑ. අපේ ආර්ථිකය වැටෙන්න එක හේතුවක් කොවිඩ්. අනෙක බදු ප්‍රතිපත්තියේ අවුල. දැන් ලංකාවෙ ඍජු බදු ප්‍රතිශතය අඩුයි. වක්‍ර බදු වැඩියි. එතකොට භාණ්ඩවල මිල ඉහළ යනවා. මේක ලොකු ප්‍රශ්නයක්.

ප්‍රශ්නය:- ඍජු බදු වැඩිකරන්න ආණ්ඩුව බය ද? නැත්නම් වෙළෙඳ මාෆියාවට යට ද?
පිළිතුර:- හැම රටකම දේශපාලන හා වෙළෙඳ මාෆියාවක් තිබෙනවා. ඒ අය අතරෙ යම් මුදල් ගනුදෙනු වෙනවා ඇති. ප්‍රශ්නය ඒකමත් නෙවෙයි. එහෙම රටවල පවා යම් සංයුක්ත ආර්ථික වැඩපිළිවෙලක් තිබෙනවා. අපට එහෙම අනන්‍යතාවයක් නෑ.
අද ලංකාවේ දේශපාලකයන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. අල්ලසක්  විදියට ගෙයක් අරගෙන මට දුන්නේ තෑග්ගක් කියනවා. හැබැයි දියුණු ලෝකේ රටවල එහෙම දේශපාලකයන්ට තෑගි ගන්න බෑනෙ.

ප්‍රශ්නය:- සෞභාග්‍යයේ දැක්ම ගැන ඇතැම් දේශපාලකයන්ගේ පැහැදිලි කිරීම්වල තිබෙන්නේ රාජ්‍ය උපරිමයෙන් මැදිහත් වන දේශීය ආර්ථිකයක් වැනි අදහසක් ?
පිළිතුර:- ඒක වැරැදියි. ඒකෙ තිබෙන්නේ හොඳ පොරොන්දු මිටියක්. ප්‍රශ්නය තමයි පොරොන්දු දුන්නට ඒ වැඩේ කෙරෙන්නේ නැතිකම. ඇත්තටම මුල් මාස හයේ පොඩ්ඩක් කරගෙන ආවා. ඊට පස්සේ නතර වුණා.

ප්‍රශ්නය:- ඒ ඇයි?
පිළිතුර:- ඊට පස්සේ ඇමැතිලාගේ දරුවෝ පෞද්ගලික ලේකම්ලා වෙලා නටන්න ගත්තා. ඇමැතිලා වටේ ඉන්න මේ වහල්ලු ටික එලියෙන් තියන්න ජනාධිපතිතුමා ලොකු උත්සාහයක් ගත්තා. කිසිම සම්බන්ධීකරණ ලේකම්වරයකු රජයේ නිලධාරීන්ට දුරකතන ඇමතුම් නොදිය යුතු බවට චක්‍රලේඛයක් පවා ගැහුවා. හැබැයි දැන් වෙන්නේම එපා කියපු දේවල් ටික.

ලංකාදීප ඊ පුවත්පතින් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි. ඉහළ ඡායාරූපය වෙනස්කර ඇත.

Related Posts