සජබ උද්ඝෝෂණයට වාරණ නියෝග ඉල්ලූ කොළඹ පොලිසි 18ක ඉල්ලීම ඉවතට

Spread the love

ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගි ජන බලවේගය විසින් හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විය.

බ්ලූමැන්ඩල්, කිරුළපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවිදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුදුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන 18ක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේය.

උද්ඝෝෂකයින් සෞඛ්‍ය නිති රිතී උල්ලංඝණය කරන්නේ නම්, පොලිස් බලතල ප්‍රකාරව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළ අධිකරණය පොලීසිය කළ ඉල්ලීම ඉවත දැමීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් කොරෝනා රෝගයට අදාළව සෞඛ්‍ය ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව යමෙකු එය උල්ලංඝණය කරන්නේ නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් අධිකරණය සදහන් කළේය.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂය විසින් ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිත උද්ඝෝණයට සමගාමීව කඩුවෙල, නවගමුව, මාළඹේ, සහ අතුරුගිරිය යන පොලිස් බල ප්‍රදේශයන්හී උද්ඝෝෂණ නොපවත්වන ලෙසට නියෝග කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (15) ආඥාවක් නිකුත් කළේය.

ඒ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කඩුවෙල, නවගමුව, තලංගම, මාළඹේ සහ අතුරුගිරිය යන පොලිස් ස්ථාන කළ ඉල්ලීමකට අනුවය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (1) (3) (5) වගන්ති ප්‍රකාරව මෙලෙස ආඥාවක් නිකුත් කර ඇත්තේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන්, සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකටය.

Related Posts