බලශක්ති සහ ආහාර ධාන්‍යවල මිල ඉහළ යාම සියලුම රටවලට බලපාන බව අගමැති නරේන්ද්‍ර මෝදි සඳුදා පැවසීය.ඔහු මේ බව පැවසූයේ ‘ශක්තියෙන් එකට: ආහාර සුරක්ෂිතතාවය ආමන්ත්‍රණය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය දියුණු කිරීම යන මැයෙන් සැසියක් අමතමින්ය.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසූයේ වත්මන් භූ දේශපාලනික ආතතියේ බලපෑම යුරෝපයට පමණක් සීමා වී නොමැති බවයි.

ඉන්දීය අගමැති මෝදිගේ තවත් එක් නිරීක්ෂණයක් වූයේ “සංවර්ධනය වෙමින් පවතින රටවල බලශක්තිය සහ ආරක්ෂාව විශේෂයෙන් අවදානමට ලක්ව ඇති බවයි. එසේ වුවද බොහෝ රටවලට ආහාර හා ධාන්‍ය ඉන්දියාව විසින් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී පවා සපයා ඇති බව ඔහු පැවසීය.

පසුගිය මාසය තුළ ඉන්දියාව විසින් ඇෆ්ගනිස්තානයට මානුෂීය ආධාර ලෙස තිරිඟු ටොන් 35,000 ක් පමණ පරිත්‍යාග කොට ඇති බවත් එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ දරුණු භූමිකම්පාවෙන් පසුවත් සහන ද්‍රව්‍ය ලබා දුන් පළමු රට ඉන්දියාව බවත් ඔහු පැවසීය.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ සිය අසල්වැසි ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමටත් ඉන්දියාව කැපවී සිටින බවයි.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු පැවසූයේ පොහොර ලබා ගැනීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.එහිදී ජී-7 රටවලින් සහයෝගය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කළේය. එපමණක්ද නොව පොහොර නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ ගන්නා බව ඔහු පැවසීය.

ජී-7 රටවලට සාපේක්ෂව ඉන්දියාව සතුව අතිවිශාල කෘෂිකාර්මික ශ්‍රම ශක්තියක් ඇති බව අගමැති මෝදි වැඩිදුරටත් පැවසීය. සමහර රටවල චීස් සහ ඔලිව් වැනි සාම්ප්‍රදායික කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා නව ජීවයක් ලබා දීමට මෙම ශ්‍රමබලකාය උපකාරී විය හැකි බව ඔහුගේ නිරීක්ෂණය විය

“ජී-7 හට එහි සාමාජික රටවල ඉන්දියානු කෘෂිකාර්මික කුසලතා පුළුල් ලෙස භාවිතා කිරීම සඳහා ව්‍යුහගත පද්ධතියක් නිර්මාණය කළ හැකිද? ඉන්දියාවේ ගොවීන්ගේ සාම්ප්‍රදායික කුසලතා ආධාරයෙන් ජී-7 රටවලට ආහාර සුරක්ෂිතතාව සහතික කරනු ඇත,” අගමැති මෝදි පැවසීය.

‘කාන්තාවන් විසින් මෙහෙයවන සංවර්ධනය’ දක්වා ගමන් කරන පුළුල් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයක අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.”මිලියන 6 කට වැඩි ඉන්දියානු කාන්තා පෙරටුගාමී සේවිකාවන් වසංගතය අතරතුර අපගේ පුරවැසියන් ආරක්ෂිතව තබා ගත් බව අගමැති මෝදි පැවසීය.

ඉන්දියාවේ එන්නත් සහ පරීක්ෂණ කට්ටල සංවර්ධනය කිරීමේදී ඉන්දියාවේ කාන්තා විද්‍යාඥයන් දැක්වූ දායකත්වය ඔහු ප්‍රශංසනාත්මකව දැක්වීය.

ඉන්දියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ පරිමාණය පිළිබඳ උදාහරණයක් ලබා දෙමින් ඔහු පැවසුවේ,ඉන්දියාවේ පළාත් පාලන ආයතන වල සිට ජාතික ආණ්ඩුව දක්වා තේරී පත් වූ සියලුම නායකයින්ගෙන් අඩකට වඩා කාන්තාවන් වන බවයි.අද වන විට තීරණ ගැනීමේදී ඉන්දීය කාන්තාවන් පූර්ණ වශයෙන් සම්බන්ධ වී සිටින බවට මෙය කදීම සාක්ෂීයක් බව අගමැති මෝදී පෙන්වා දුන්නේය.

ඊළඟ වසරේ, ජී-20 හි මුලසුන ඉන්දියාව විසින් හොබවනු ඇත. ජී-20 යටතේ පශ්චාත්-කොවිඩ් ප්‍රතිසාධනය ඇතුළු අනෙකුත් ගැටළු පිළිබඳව අපි ජී-7-රටවල් සමඟ සමීප සංවාදයක් පවත්වීමට බලාපොරෝත්තු වන බව ,” ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්