සංචාරක ප‍්‍රවර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 04කට යන්න කැබිනට් අනුමැතිය

Spread the love

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි.

මෙම රටවල් 04 සමග සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. මීට අමතරව ඉදිරියේ දී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව වැනි රටවල් සමගද ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ සංචාරක කර්මාන්තයේ මතු ව ඇති තත්ත්වය හමුවේ මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු ටික කාලයකට ප්‍රමාද විය හැකි බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ලෝකයේ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් වු වහාම මෙම ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන බවද සදහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව රටවල් 10 ක් සමග සංචාරක ප්‍රවර්ධනය සදහා වන අවබෝධතා ගිවිසුම් වලට එළඹ තිබේ. ඉන්දියාව, තායිලන්තය, සීෂෙල්ස්, පෝලන්තය, තජිකිස්ථානය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව හා පිලිපීනය එම රටවල් 10යි. දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඒවා සැලසුම් කිරීම වැනි කටයුතු ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් හරහා සිදු කිරීම මෙම අවබෝධතා ගිවිසුම් මගින් සිදු කෙරේ. ඇතැම් දියුණු රටවල් මෙවැනි අවබෝධතා ගිවිසුම් හරහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලබයි.

ලෝකයේ ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්හිදි මෙවැනි ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත්වන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. බොහෝ දියුණු රටවල් එවැනි ආපදා තත්ත්වයන්හි දී තමන් සමග ගිවිසුම්ගතව සිටින කුඩා රටවලට ආධාර උපකාර කිරිමට ඉදිරිපත් වේ. මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට මෙවැනි අවබෝධතා ගිවිසුම් අතිශයින්  වැදගත් බව ද රණතුංග මහතා කියයි.

පසුගිය කාලයේ දී මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඇමෙරිකාව, මාලදිවයින, ප්‍රංශය හා කැනඩාව වැනි රටවලිනි. ශ්‍රී ලංකාව ලොව අංක 01 සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම රජයේ අපේක්ෂාවයි. මේ සදහා සංචාරක ආකර්ෂණය ඉහළින් ම ඇති යුරෝපා රටවල් චීනය, ඉන්දියාව, මැදපෙරදිග කලාපය හා රුසියාව, යුක්රේනය ඇතුළු රටවල් කේන්ද්‍ර කොටගෙන ගමනාන්ත අලෙවිකරණ හා නියෝජිත ආයතන පත් කිරීමට ද රජය අපේක්ෂා කරනු ලබයි. විදේශ රටවල පවතින ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල හරහා ඔවුන් විසින් යෝජනා කරනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් ද මේ යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

RSL

Related Posts