ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බැහැ

Spread the love

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය රටවල සේවය කරන කිසිදු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට එරෙහිව නීතිමය වශයෙන් හෝ අනියම් ආකාරයෙන් කටයුතු කිරීම සඳහා කිසිවකුටත් හැකියාවක් නැතැයි රජය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් ඒකමතිකව ඇති කරගත් සම්මුතීන්ට අනුකූලව මෙන්ම පිළිගත් සම්ප්‍රදායන්ට අනුව ලොව ඕනෑම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට එරෙහිව නඩු පැවරීම, චෝදනා ගොනු කිරීම ආදී කිසිවක් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එලෙස ඇති කර ගන්නා ලද අන්තර් ජාතික වියානා ප්‍රඥප්තියේද මේ බව සඳහන් වන අතර ලොව ඕනෑම රටක සේවය කරන විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන්ට එම වරප්‍රසාදය හිමි වන බව විදේශ කටයුතු අමාත්‍යාංශ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා පවසා ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය රටවල සේවය කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔවුනට එරෙහිව ඇතැම් රටවල් නඩු පැවැරීමට හා චෝදනා එල්ල කිරීමට කටයුතු කර තිබෙන අතර කිසිවිටෙකත් ඒ සඳහා නීතිමය අයිතියක් නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජර්මනියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් ඩයස් හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ මහත්වරුන්ට එරෙහිව කොටි හිතවාදී රජයන් හා සංවිධානයන් මෙලෙස නීතිමය පියවර ගැනීමට උත්සාහ කර තිබේ.

කෙසේ වුවද මේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට අන්තර් ජාතික නීතිමය රාමුව තුළ නොහැකි බව පෙන්වාදුන් සරත් දිසානායක මහතා මේ නිලධාරීන් විදේශීය රටවල සේවය කරන්නේ තම රට වෙනුවෙන් බවද කීවේය.

RSL

Related Posts