ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් සඳහා විශේෂ හින්දි භාෂා පාඨමාලාවක්

Spread the love

පසුගිය 10 වැනිදාට යෙදුනු ලෝක හින්දි දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා ‘හින්දි ප්‍රවීණතා පාඨමාලාවක්’ දියත් කරන ලදී.

මෙම උත්සවය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ (SVCC) පැවැත්විණ. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් බැවසුයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවාවන්හි නිලධාරීන් 70 දෙනෙකු ඊට සහභාගී වූ බව යි.

මෙහිදී අදහස් දැක්වූ වැඩබලන මහ කොමසාරිස් විනොක් කේ ජේකබ් මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික හා භාෂාමය සබඳතා වසර සහස්‍ර දෙකකට වඩා ඈත අතීතයකට දිවෙන බව පැවසීය. සමකාලීනව හින්දි භාෂාව මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවත් සිහිපත් කළේය.

සෑම වසරකම ශ්‍රී ලංකාවේ සිසුන්ට ඉන්දියාවේ පිළිගත් ආයතනවල සහ විශ්වවිද්‍යාලවල හින්දි අධ්‍යාපනය හැදෑරීම සඳහා ඉන්දීය රජය විසින් විශාල ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනමන බව ඔහු අවධාරණය කළේය.

දිවයින පුරා හින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 10ක සහ රජයේ පාසල් 80ක පමණ හින්දි භාෂාව උගන්වනු ලබන බවද ඔහු අවධාරණය කළේය.

ජේකබ් පවසන පරිදි, මෑතදී, දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක ශ්‍රී ලංකාවේ හින්දි භාෂාව සහ සාහිත්‍යය ව්‍යාප්ත කිරීම සඳහා කළ දායකත්වය අගයමින් ඉන්දීය ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව වලින් එකක් වන මරණින් පසු පුදනු ලබන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පුදනු ලැබීය.

මෙමගින් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමඟ සංස්කෘතික සබඳතාවලට දක්වන වැදගත්කම යළිත් අවධාරණය කරයි. ඉන්දියා – ශ්‍රී ලංකා ජනතාව අතර ඇති බැඳීම ශක්තිමත් කිරීමට ඇති කැපවීම පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ලෝක හින්දි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය සඳහා හින්දි පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා සිය සතුට පළ කළ බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා පොලිසියට වරින් වර ලබාදෙන සහය පිළිබඳව ඔහු විසින් ඉන්දීය රජයට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ස්තුතිය පුද කළේය.

විශේෂ හින්දි පාඨමාලාව තුලින් දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමටත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටත් ඉවහල් වන බව ද ඔහු අවධාරණය කළේය.

මෙම උත්සවය අතරතුර, වැඩබලන මහ කොමසාරිස්වරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්ගේ විශේෂ පණිවිඩ ද කියවන ලදී.

ඉන්දීය විදේශ කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගේ වීඩියෝ පණිවිඩ ද ප්‍රේක්ෂකයින් සමඟ බෙදා ගන්නා ලදී.

ලෝක හින්දි දිනය වෙනුවෙන් සිය සුබපැතුම් පළ කරමින් අගමැති මෝදි හින්දි භාෂාවේ ජනප්‍රියතාවය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ වැඩිවන භාවිතය පිළිබඳව සිය පණිවිඩයේ සඳහන් කළේය.

ලෝක හින්දි දිනය සැමරීම සඳහා විදේශයන්හි ඉන්දීය දූත මණ්ඩල විසින් විවිධ සිදුවීම් සංවිධානය කිරීම පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් ද සිය සුබ පැතුම් පළ කළේය.

සාමයේ සහ දයානුකම්පාවේ භාෂාවක් ලෙස හින්දි භාෂාව වෙනත් රටවල් සහ ඔවුන්ගේ ජනතාව සමඟ ඉන්දියාව සම්බන්ධ කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී අවධාරණය කළාය.

සිය විශේෂ වීඩියෝ පණිවුඩය හරහා මහ කොමසාරිස් බග්ලේ, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ඔවුන්ගේ නිල කටයුතු මෙන්ම පෞද්ගලික උනන්දුව සඳහා හින්දි භාෂාව ඉගෙනීමට දක්වන උනන්දුව පිළිබඳව සතුට පළ කළේය.

ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයෙහි හින්දි සිසුන් මෙම උත්සවයේදී සංස්කෘතික වැඩසටහනක් ඉදිරිපත් කළ අතර ජනප්‍රිය හින්දි සහ සිංහල ගීත ගායනා කළහ.

සමාරම්භක වැඩසටහනෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා වූ හින්දි පාඨමාලාවේ පළමු දේශනයද පැවැත්විණි.

උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සහභාගි විය.

INDIANEWSNETWORK

Related Posts