ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අපේක්ෂාභංගත්වයට පත්වෙති – බංග්ලාදේශයෙන් 474/4ක සුපිරි ඉනිමක්

Spread the love

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත් කළ බංග්ලාදේශ පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද (22 දා) තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 474 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්වූහ. පළමු දිනට රැස් කරන ලද ලකුණු 302 කට අමතරව අද දිනයේදී යවන ලද පන්දුවාර 65 තුළදී රැස් කර ගන්නා ලද ලකුණු 172 දී ප්‍රතිවාදී බංග්ලාදේශ පිලේ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

පන්දුවාර 25 ක් යැවීමට නියමිතව තිබියදී අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නිමා කරන විට පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 43 ක්ද ලිටන් දාස් ලකුණු 25 ක්ද ලබා සිටියහ.

ආරම්භයේ සිට කිසිදු අපහසුවකින් තොරව ලකුණු රැස් කළ නජ්මුල් හොසේන් සැන්ටෝ සහ නායක මොමිනුල් හක් දිවා ආහාරය තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිම තවදුරටත් සුරක්ෂිත කළහ. දිනයේ සුවිශේෂී සිදුවීම බවට පත්වූයේ නායක මොමිනුල් හක් සිය 11 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමය. මෙය ඔහු සිය මව් රටින් බැහැරව රැස් කරන ලද පළමු ශතකය ලෙසින් වාර්තා වීමද කැපී පෙනිණ.

ඉතා විශ්වාසවන්ත ලෙසින් පිති හැසිරවූ මෙම පිතිකරුවන් යුගලය දිවා ආහාරය වන විට තවත් ලකුණු 76 ක් එක් කළහ. එහෙත් දිවා ආහාරයෙන් පසුව තණතීරුව තරමක් මන්දගාමී ස්වරූපයක් අතර එහිදී යළි ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ පිතිකරුවන් වෙත පීඩනය යොමු කළහ. ඒ අතරින් සාර්ථක වුණු ළහිරු කුමාර, පෙරළා උඩ පන්දුවක් රැක ගැනීමෙන් නජ්මුල් හොසෙන්ගේ කඩුල්ල දවා ගත්තේය. එල්ල කරන ලද පහර පා ආවරණයේ වැදී ළහිරු කුමාර විසින් රැක ගන්නා විට නජ්මුල් ලකුණු 168 ක් ලබාගෙන සිටියේය.

නජ්මුල්ගේ ඉනිමේදී මුහුණ දුන් පන්දු 304 න් 17 ක් හතරේ සීමාවට එපිටින්ද එක් වතාවක් ඊට ඉහළින්ද යැවීමට සල්සවා තිබුණි. පුරා පැය 6 කට ආසන්න (මිනිත්තු 533ක් ) කාලයක් පුරා විහිදුණු නජ්මුල්ගේ දිවියේ මංගල ශතකය බංග්ලාදේශ ජාතිකයකු මංගල ඉනිමකදී රැස් කරන ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය.

දැවී යෑමට මත්තෙන් නායක මොමිනුල් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 242 ක හවුල්කාරීත්වයක් ගොඩ නැංවූ නජ්මුල්, එය ඕනෑම රටකට එරෙහිව බංග්ලාදේශ පිතිකරුවන් යුගලයක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පරිවර්තනය කර ගත්තේය. නජ්මුල් සහ මොමිනුල් විසින් අද බිඳ දමන ලද්දේ එදා මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම් දෙදෙනා එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව චිතගොංහිදීරැස් කරන ලද ලකුණු 236 සම්බන්ධතාවය විය.

මුෂ්ෆිකර් රහීම් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය නමුත් විනිසුරු කුමාර් ධර්මසේන ලබා දුන් එම තීරණය රහීම් අභියෝගයට ලක් කළේය. පුණරූපණවලට අනුව එය පා ආවරණයේ වැදීමට පෙර රහීම්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී යනු පැහැදිළිවම සටහන්වීම හේතුවෙන් තව දුරටත් පිටියේ රැඳී සිටීමට හේ වාසනාවන්ත විය.

එම කඩුල්ල දැවී යෑමත් සමඟ එතෙක් යළිත් තරගයට පිළිපන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. එය බංග්ලාදේශ ඉනිමට කෙතරම් බලපෑමක් එල්ල කළේද කිවහොත් දිවා ආහාරය සහ තේ පානය දක්වා යවන ලද පන්දුවාර 27 දී ප්‍රතිවාදී පිතිකරුවන්ට රැස් කිරීමට අවස්ථාව ලබා දුන්නේ ලකුණු 62 ක් පමණි.

නිරන්තයෙන්ම කවර් සහ පොයින්ට් කළාප අතරින් වූ හිඩැස උපයෝගී කර ගනිමින් පන්දුවට පහර දුන් නායක මොමිනුල් හක්, ඉන් 11 ක්ම හතරේ පහර බවට පරිවර්තනය කර ගත්තේය. පා ඉන්න ප්‍රදේශයට පැමිණෙණ පන්දුවවලට කෙටි ලකුණු ලබා ගත් වමත් කුඩා පිතිකරුවාගේ ලකුණු 127 කින් සමන්විත ඉනිම නිමාවට පත්වූයේද හතරේ පහර ලබාගත් කළාපයට පන්දුව යැවීමට ගත් උත්සාහයේදීය.

ධනංජය ද සිල්වාගේ දඟ කැවී ආ පන්දුව පොයින්ට් සහ කවර් කළාපය අතරින් වූ හිඩැස හරහා යැවීමට එල්ල කරන ලද පහර වැරදී යෑමෙන් එය උඩ පන්දුවක් ලෙස ස්ලිප් ස්ථානයේ සිටි ළහිරු තිරිමාන්න රැක ගැනීම නිසා බංග්ලාදේශ නායකයාගේ ඉනිම නිමාවට පත්විය.

මිනිත්තු 90 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී තරගය නතර කිරීමට විනිසුරුවන්ට සිදුවීම නිසා තෙවැනි දිනය වන හෙට (23 දා) දිනයේදී තරගය පෙ.ව. 9.45  ට ආරම්භ කෙරෙනු ඇත.

text by – sl cricket

Related Posts