ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් සහනය අනුමත වේ

Spread the love

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම සම්බන්ධයෙන් නීතිමය ලියැවිල්ලට අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පසුගිය දා (21 ඔක්.) සිය අත්සන යොදා අනුමැතිය ලබාදීම සිදුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. ජී. ඩී. ඩී. ධීරසිංහ මහතා පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අත්සන යෙදීමත් සමඟ මේ සහනයන් ලබන නොවැම්බර් 05 වැනිදා සිට වසර 2013 ජුලි 31 දක්වා ක්‍රියාත්මක වේ.

මේ අතර මේ වසරේ ජනවාරි 01 දා සිට නොවැම්බර් 05 වැනිදා දක්වා ඇමෙරිකාවට යැවූ භාණ්ඩවලින් අය කළ තීරු බදු මුදල් ආපසු ගෙවීමට ද එරට කැමැත්ත පළ කොට තිබීම සුවිශේෂී කරුණකි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන්නේ යැයි සහ තවත් දුර්මත කිහිපයක් පදනම් කොට අමෙරිකානු කම්කරු සම්මේලනය සහ එරට කොංග්‍රස් කර්මාන්ත සංවිධානය විසින් මේ තීරු බදු සහනය අත්හිටුවන ලෙස අමෙරිකානු රජයට පෙත්සමක් ඉදිරිපත් කෙළේ ය. ඊට කන්දුන් අමෙරිකාව මෙරටට ලබාදුන් “විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වර්ණයන් පිළිබඳ පොදු ක්‍රමය” (“යූ.එස්.ජී.එස්.පී”) සහනය වසර 2010 ජුලි මාසයේ 01 වැනිදා සිට අත්හිටුවී ය.

එසේ නමුත් මෙරටින් අමෙරිකාවට යැවෙන භාණ්ඩ නතර නොවුණ අතර, තීරු බදු සහන නොලබා වුව අපේ අපනයනකරුවෝ අමෙරිකානු වෙළෙඳ පොළ දිනා ගැනීමට තරගකාරීව ක්‍රියා කළහ.

ඇමෙරිකානු ජී.එස්.පී වැඩසටහන යනු සංවර්ධනය වන රටවල ආර්ථික වර්ධනය සඳහා වරණීය ආනයන බදු වලින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 129 ක නිෂ්පාදන 4800 ක් නිදහස් කෙරෙන වැඩසටහනකි.

වසර 1974 වෙළෙඳ පනත මඟින් 1976 ජනවාරි මස 01 වැනිදා සිට ජී.එස්.පී. සහනය ක්‍රියාත්මක වීම ඇරැඹිණි.

RSL

Related Posts