ශ්‍රී ලංකාවේ ‘වෙළඳ භාණ්ඩ අපනයනය‘ 13% කින් ඉහළට

Spread the love

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් මිලියන 1,062.63 දක්වා, 13% කින් වැඩි විය. එය 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 5.7% ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පැවසුවේ, 2022 ජනවාරි මාසයේදී අපනයන කාර්යසාධනය කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර‍ සියල්ලම පාහේ දිරිගන්වනසුලු ප්‍රවණතා පෙන්නුම් කර ඇති බවත්ය.‍ එසේම මෙම ප්‍රවණතාවය නොකඩවා පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර වසර අවසානයේ දී සැලකියයුතු ප්‍රගතියක් දැකගත හැකි වනු ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු අපනයනකරුවන්ට සිය ප්‍ර‍ණාමය එක් කළ අතර අනාගතයේ දී අගය එකතු කිරීම හරහා මෙරට අපනයනවලට වැඩි වටිනාකමක් එක් කිරීම ද, සුවිශේෂී වෙළඳපොලවල් වෙත අවධානය යොමු කිරීම සහ නිෂ්පාදන පැස මෙන්ම වෙළඳපල විවිධාංගීකරණය කිරීම අවශ්‍ය බව ද වැඩිදුරටත් පැවසීය. එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය  ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධානතම වෙළඳපොලවල් ලෙස පෙන්වන ප්‍ර‍ගතිය අගය කරන අතර ම ආසියානු කලාපය තුල  සිය වෙළඳපල වඩා පුළුල් කළ යුතු යැයි ද පැවසීය.

වගුව 1: වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය                                                                       වටිනාකම් ඇ.ඩො.මි

භාණ්ඩ අපනයනය  2020 ජනවාරි 2021 ජනවාරි 2022 ජනවාරි වර්ධනය (21-22)
ඇඟලුම් සහ රෙදිපිළි 472.07 421.28 514.41 22.11
තේ 99.73 100.99 91.23 -9.66
රබර් ආශ්‍රිත නිෂ්පාදන 72.89 84.16 87.1 3.49
පොල් ආශ්‍රිත නිෂ්පාදන 49.05 54.18 68.28 26.02
දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ 28.20 28.94 25.08 -13.34
ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක 28.23 31.85 35.87 12.62
කුළුබඩු සහ සාන්ද්‍රිත නිශ්පාදන 19.54 42.22 34.97 -17.17
සැකසූ ආහාර සහ පාන වර්ග 27.01 31.35 30.74 -1.95
මුහුදු ආහාර 23.66 16.90 24.11 42.66
විසිතුරු මසුන් 1.45 0.88 1.78 102.27
එළවළු 2.63 1.70 2.36 38.82
පලතුරු 3.84 2.86 3.15 10.14
වෙනත් අපනයන බෝග 8.19 2.47 5.34 116.19
මල් සහ පත්‍ර 1.05 1.09 1.22 11.93
බෝට්ටු නිෂ්පාදන 0.40 0.05 0.17 240.00
ඛනිජ තෙල් නිෂ්පාදන 35.64 0.46 34.02 7295.65
වෙනත් 131.32 115.32 102.80 -10.86
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 1,004.9 936.70 1,062.63 13.44

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 10

රට 2020 ජනවාරි 2021 ජනවාරි 2022 ජනවාරි වර්ධනය  (21-22)
1 එක්සත් ජනපදය 267.61 233.53 295.25 26.43
2 එක්සත් රාජධානිය 85.31 61.49 81.16 31.99
3 ඉන්දියාව 63.21 55.65 71.72 28.88
4 ජර්මනිය 51.89 53.45 60.20 12.63
5 ඉතාලිය 45.46 53.04 49.69 -6.32
6 බෙල්ජියම 29.61 23.70 24.78 4.56
7 නෙදර්ලන්තය 22.71 34.86 38.68 10.96
8 කැනඩාව 17.07 23.83 29.82 25.14
9 චීනය 19.25 21.98 18.81 -14.42
10 එක්සත් අරාබි එමීරය 15.72 15.22 23.88 56.90
අනෙක් 387.06 359.95 368.64 2.41
එකතුව 1,004.90 936.70 1,062.63 13.44

කලාපයන්හි ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය

කලාපීය වශයෙන් සංසන්දනය කිරීමේදී 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසය තුළ සියලුම කලාප වෙත ශ්‍රි ලංකාවේ  අපනයන වැඩි වි ඇත.

වගුව 3: අපනයන කලාප

කලාපය 2020 ජනවාරි 2021 ජනවාරි 2022 ජනවාරි වර්ධනය (21-22)
යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර 212.7 204.03 206.74 1.33
එක්සත් ජනපදය 237.61 223.53 255.25 14.19
දකුණු ආසියාව 100.02 61.58 112.86 83.27
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය  (ASEAN) 43.11 63.71 69.90 9.72
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් (CIS Countries) 18.75 17.95 28.85 60.72
අප්‍රිකානු රටවල් 26.66 19.63 24.56 25.11
මැදපෙරදිග රටවල් 24.89 21.04 21.30 1.24
අනෙක් 255.85 325.23 343.17 5.52
සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනය 1,004.90      936.70 1,062.63 13.44

2022 ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවේ අපනයනවලින් 20% ක් යුරෝපා සංගමයේ (EU) රටවලට අපනයනය කෙරුණු අතර 2022 ජනවාරි මාසයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 206.74 ක් විය. එම අගය පසුගිය වර්ෂයට සාපේක්ෂව 1.33 % කින් වැඩි වීමකි.

සේවා අපනයනය

2022 වර්ෂයේ  ජනවාරි මාසය තුල සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම  ඇමරිකානු ඩොලර් මිලියන 313.22 ක් වූ අතර එය 2021 ජනවාරි මාසයට වඩා 42.2% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගතකර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණ සේවා/ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ සේවා (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, Transport and logistic වලින් සමන්විත වේ.

ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලසුම් අංශය

Related Posts