වෙනස් විදිහට හිතන මෙහෙම ගෑහැණු දැක තිබේද ?

Spread the love

දඹුල්ල ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාසයේ ඉහල ඇරෑවුල ග්‍රාමසේවා වසමේ පදිංචි ජී. ජී. සරෝජා සඳමාලි හේමතිලක නම් වූ තිස් පස් හැවිරිදි දෙදරු මව සිය පියා සමඟ ජීවන සටනක නිරතව සිටින්නීය.

ඇය පිළිබඳව මීට පෙර මාධ්‍ය  හරහා අප රට දැනුවත් කළේ කිසිදු ආර්ථික ශක්තියක්  නොමැතිව තමා දරු දෙදෙනා සමග අසරණව ජීවත් වන බවත් අක්කර දෙකක පමණ හිස් භූමියක් තමන් සතුව පැවතිය ද වගා කර ගැනීමට ජලය තිබුණේ නම් තමන්ට මුළු අක්කර දෙකක භූමිය වගා කර ගැනීමට හැකි බව ඇය කළ ප්‍රකාශය නිසාය.

එම පුවත දුටු  දානපතියකු  රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් කරමින් ඇයට අඩි සියයකට වැඩි නළ ලිඳක් තනා වගා කිරීමට අවැසි පහසුකම් සපයා දීම සිදු කරන ලදී.

මේ වන විට ඇය  අක්කර දෙකක  මුඩුබිම සම්පූර්ණයෙන් වගා කිරීමේ දැඩි සටනක නිරත වෙමින් අස්වනු නෙළා ගැනීම ද සිදු කර මින් සිටියින්නීය.

එමෙන්ම සරෝජා අනාගතය ගැන සිතා මේ වන විට ස්ථිර බෝග වගාවන් වලට යොමුවී තිබේ. එමෙන්ම කෙටි කාලීන බෝග, පලතුරු ආදී සියල්ල මෙම මුඩුබිමේ සරු කොට ඇති යකඩ කාන්තාවකි.

අද ද ඇය කටුමැටි ගැසූ කුඩා පැළක ජීවත්වන දරුවන්  දෙදෙනකුගේ මවකි. ඇයගේ මීළඟ  ඉලක්කය බවට පත්ව ඇත්තේ  කඩා වැටීමට ආසන්න නිවස වෙනුවට ස්ථිර  කාමර දෙකක් ඉදි කර ගැනීමය.

ඒ සඳහා ඇය   අඩිතාලම දමා තිබේ.  නිවස තනා ගැනීම සඳහා ඇයගේ මහන්සියෙන් ගඩොල් කපා පුළුස්සා වෙන්කොට තිබේ. ලී දඬු ඉරා සකසා ගෙන තිබීම ද විශේෂත්වයකි.

අක්කර දෙකක පමණ වූ විශාල භූමියේ  මෙම යකඩ කාන්තාව අමුමිරිස්, තක්කාලි, එල බටු ,මුරුංගා, කෙසෙල්, තිබ්බටු,  පොල්, අඹ, ගම්මිරිස්, පුවක්්‍ වම්බටු, මෑ කරල්, ආදී වගාවන් සිදුකොට තිබේ. ඇතැම් වගාවන් වල පල දරමින් තිබෙන අතර තවත්  වගාවන් තවමත් කුඩා අවධියේ පසුවන අතර ඇයගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ ස්ථිර අඹ වගාවක් මෙම අක්කර දෙක තුළ වගා කර ගැනීමය. එය තම අනාගතය සඳහා ආයෝජනයක් ඇය කීවාය.

එමෙන්ම ඇයගේ එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ  කෙසේ හෝ මහ පොළොව සමඟ පොර බදිමින් නිවස ඉදි කර ගැනීමය.

බොහෝ දෙනා අනුන්ගෙන් යැපීම්ට උත්සාහ දරද්දී මහපොළොව සමග පොර බඳන්නට උත්සාහ කරන මෙවැනි කාන්තාවෝ ඉතා විරලය. පිරිමියෙකුට වඩා හයි හත්තියක් ඇති ඇය මුළු මහත් සමාජයටම ආදර්ශමත් කාන්තාවකි.

අක්කර දෙකක විශාල ඉඩමේ ස්ථිර බෝග වල යටි තණකොළ කපා ගැනීම සඳහා තණකොළ කපන යන්ත්‍රයක් මිලදී ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණාවක් බව ඇය සඳහන් කළාය.

මෙම දිරිය  කාන්තාවට තවදුරටත් ශක්තියක් වන්නට ඔබටත් හැකි නම් එය ඇයට කරන සුවිශාල වූ උදව්වකි.  ඇයගේ ලිපිනය ජී. ජී. සරෝජා සඳමාලි හේමතිලක, 22 ඩි 1 ඉහළ ඇරෑවුල, දඹුල්ල. ඇයට උපකාර කිරීමට කැමැති නම් කරුණාකර පහත ගිනුම් අංකයට ඒ උපකාර කරන්න. ලංකා බැංකුවේ ගිණුම් අංක 80305633

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts