‘විශ්වවිද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා’ අමතර ප්‍රතිපාදන

Spread the love

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දෙනෙකුට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පස්වරුවේ උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාලවල අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වසරේ දී විශ්වවිද්‍යාල සඳහා දරුවන් 41000ක් බඳවාගෙන ඇතැයි පෙන්වා දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, 10588ක් තරම් සිසුන් සංඛ්‍යාවක් මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවා ගෙන ඇත්තේ නිදහසෙන් පසු පළමු වතාවට බව අනාවරණය කළේය.

ඒ අනුව වෛද්‍ය පීඨවලට පමණක් සිසුන් 479ක් බඳවා ගෙන ඇති බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එය අලුතින් වෛද්‍ය පීඨ 4ක් පටන් ගත්තා හා සමානයැයි කීවේය.

එහෙත් මේ සියල්ල කළමනාකරණය කිරීමට හැකිවූයේ සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ගෙන් ඊට ලැබුණු සහය නිසා බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා රුපියල් බිලියන 5ක පමණ අමතර මුදලක් විශ්වවිද්‍යාල පද්ධතියේ භෞතික හා මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය වී ඇතැයි පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැනට ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මෙම අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයකින් විශ්වවිද්‍යාල පද්ධතියට මුදාහරින්නැයි උපදෙස් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධ ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව සාකච්ඡා මාර්ගයෙන් තීන්දු කරගන්නැයි දන්වා සිටියේය.

කොවිඩ්-19 වසංගතය හමුවේ විශ්වවිද්‍යාල පද්ධතියේ දේශන අඛන්ඩව පවත්වාගෙන යාමට ආචාර්ය මණ්ඩලයේ මෙන්ම සිසුන්ගේ නොමඳ සහයක් ලැබෙන බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, විශ්වවිද්‍යාල වසා දමනවා යැයි සංකල්පයක් නැවත නොඑන බවට විශ්වාසය පළ කළේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉසෙඩ් අගයමත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ විශිෂ්ටම සාමාර්ථ ලබාගත් දරුවන් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්ම කළ යුතු බව පෙන්වා දුන්නේය.

ඊට විසඳුමක් ලෙස රජය ප්‍රතිපාදන ලබා දෙන්නේනම්  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එම දරුවන් බඳවා ගැනීමේ හැකියාව ඇතැයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඊට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට උපදෙස් දුන්නේය.

Related Posts