විදේශ විනිමය අර්බුදයට බන්දුල ගුණවර්ධන ‘කාබනික ගොවිතැනින්‘ විසදුම් ඉල්ලයි
- Editor
- July 28, 2021
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
‘රටේ පවත්නා දරුණු විදේශ විනිමය ප්රශ්නය විසඳාගැනීම සඳහාත්, වේගවත් සංවර්ධනයකට පිවිසීම සඳහාත් කාබනික නිෂ්පාදන අපනයනය කිරීම වැදගත් වෙනවා‘ යැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කාබනික කෘෂිකාර්මික අපනයන ක්ෂේත්රයේ වර්තමාන තත්ත්වය සහ අපනයන ප්‍රජාව මුහුණ දෙන අභියෝග සහ කාබනික කෘෂිකාර්මාන්තය සමඟ ඉදිරියට යන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙළඳ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සහයෝගයෙන් සංවිධානය කළ සාකච්ඡාවකදීය.
ඊයේ (27) මහරගම NSBM හරිත සරසවි පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පවත්වන ලදි.
රැස්ව සිටි පිරිස අමතමින් වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ රටේ අපනයන ප්‍රවර්ධනය සඳහා මූලික වගකීම වාණිජ දෙපාර්තමේන්තුවට සහ අපනයන සංවර්ධන මණ්ඩලයට පැවරෙන බවත්, විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා අපනයන ප්‍රවර්ධනය සඳහා අපනයන භාණ්ඩ විවිධාංගීකරණය, වෙළඳපොල විවිධාංගීකරණය, අපනයන නවීකරණය යනුවෙන් ප්‍රධාන ක්‍රියාමාර්ග තුනක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත්ය.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“රටේ අපනයන ප්‍රවර්ධනය සඳහා මූලික වගකීම පැවරෙන්නෙ වාණිජ දෙපාර්තමේන්තුවට සහ අපනයන සංවර්ධන මණ්ඩලයටයි. අපනයන ප්‍රවර්ධනය සඳහා අපනයන භාණ්ඩ විවිධාංගීකරණය, වෙළඳපොළ විවිධාංගීකරණය, අපනයන නවීකරණය යනුවෙන් ප්‍රධාන ක්‍රියාමාර්ග තුනක් තිබෙන බව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මා දකිනවා. දැනට ප්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන තේ, රබර්, පොල්, මැණික් ඇතුළු සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ වෙනුවට නව භාණ්ඩ වෙළඳපොල වෙත හඳුන්වා දෙමින් අප සතු අපනයන පැස විස්තීරණ කළ යුතුයි. එය භාණ්ඩ විවිධාංගීකරණය ලෙස හඳුන්වනවා. අපේ අපනයන වෙළඳපොළ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ පටන් සංකේන්ද්‍රණය වෙලා තියෙන්නෙ බටහිර රටවල් වෙතට. නව වෙළඳපොලවල් අප සොයා ගත යුතුයි. අප්‍රිකානු, ආසියාතික කලාපයේ වෙළඳපොලවල් වෙත අපේ වෙළඳපොල විවිධාංගීකරණය කළ යුතුයි. අගය එකතු කිරීම් සිදු කර, ඇසුරුම්කරණය, ගුණාත්මය ඉහළ නැංවීම යනාදිය තුළින් අපනයන නවීකරණය සිදු කළ යුතුයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් වස විසෙන් තොර කාබනික කෘෂිකර්මාන්තය වෙත විශේෂ අවධානය යොමු කිරීම මගින් මේ අංග තුන සඳහා ඉහළ උත්තේජනයක් ලබා දීල තියනවා. මෙය ස්වර්ණමය අවස්ථාවක්. රටේ පවත්නා දරුණු විදේශ විනිමය ප්රශ්නය විසඳාගැනීම සඳහාත්,වේගවත් සංවර්ධනයකට පිවිසීම සඳහාත් කාබනික නිෂ්පාදන අපනයනය කිරීම වැදගත් වෙනවා.
කාබනික නිෂ්පාදන අලෙවි කිරීම හා බෙදා හැරීම සඳහා රට තුළ මෙන් ම රටින් පිටතත් මධ්‍යස්ථාන ඇති විය යුතුයි. ඒ අනුව අපි තීරණය කරල තියෙනවා පළවෙනි වතාවට ‘සතොස කාබනික සුපිරි වෙළඳසැල්’ (Sathosa Organic Supermarket) නමින් සංකල්පයක් ව්‍යාප්ත කරන්න. කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන නගර විසිපහ ආවරණය කරමින් මේ වර්ෂය තුළ සුපිරි වෙළඳසැල් විසිපහක් ආරම්භ කිරීමට සැලසුම් යොදා තිබෙනවා. එහි අලෙවි කෙරෙන්නේ කාබනික සහල් වර්ග, කාබනික එළවළු, පළතුරු, කුළුබඩු, පොල් පැණි, කිතුල් පැණි, කිතුල් හකුරු, උක් හකුරු, සුළු කෘෂි බෝග, පාරිසරික නිෂ්පාදන ආදියයි. අපනයන නිෂ්පාදන ගම්මාන නිර්මාණය කිරීමේ සංකල්පය යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් කෘෂි අපනයනය සඳහා විශේෂ උපකාර සිදු කළ හැකියි.”

සංසදය අමතමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි. මෙල් මහතා සමස්ත රටම කාබනික වගාවට යොමු කිරීමේ වැඩපිළිවෙල තුළින් ශ්‍රී ලංකාව ජගත් අවදානයට ලක්වන බවයි. සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“අනාගතයේ දී ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදනවලට ලොව ඉහළ ඉල්ලුමක් අපේක්ෂා කරන අතර එමගින් ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාවක් පවතිනවා. එසේම අප රටේ ජනතාවට වස විසවලින් තොර සෞඛය ආරක්ෂිත ආහාර ලබා දීම තුළින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය උසස් කිරීමත් ගොවියාගේ ජීවන තත්වය නංවාලීමත් කළ හැකි වනු නිසැකයි.”
මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ජාතික කාබනික පාලන ඒකකයේ ප්‍රධාන උපදේශක කමිටු සභාපති ආචාර්ය සරත් රණවීර මහතා විසින් කාබනික කෘෂිකර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර ජාතික ප්‍රතීතන මණ්ඩලයේ සභාපති ආචාර්ය සම්පත් වාහල මහතා විසින් ප්‍රතීතනය සහ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි. තව ද මෙම අවස්ථාව සඳහා පැමිණි කාබනික කෘෂිකාර්මික අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු, අදහස්, යෝජනා ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ සාකච්ඡාවක් ද පවත්වන ලදි.

