නව සාමාන්‍යකරණය යටතේ කෘෂිකර්මාන්තය පිළිබඳ නව උපාය මාර්ග

Spread the love

වර්තමානයේ මහජන සෞඛ්‍යය කෙරෙහි ගෝලීය වශයෙන් බලපැම් එල්ලකර ඇති කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එන්නත් ක්‍රම ක්‍රියාත්මක කළද බොහෝ රටවල් ජාත්‍යන්තරයට නොපවසා සමහර ප්‍රදේශ වසා දමන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකිය හැකි අතර පුරවැසියන් උදෙසා නිරෝධායන ක්‍රමද බලාත්මක කෙරේ.

මෙරට පමණක් නොව අන් රටවලද විශේෂයෙන් ප්‍රාදේශීය නගර සහ මාවත් අගුළු දැමීම, සංචරණය සීමාකිරිම, වෙළඳපොළවල් වසා දැමීම, මුරපොලවල් සහ මාර්ග බාධක යෙදීම වැනි හදිසි පාලන පියවර වරින්වර ක්‍රියාත්මක කරන ආකාරය දැකිය හැක. මෙම පියවරවල් මහජන සෞඛ්‍යාරක්ෂාව හා සුබ සිද්ධියට ඉවහල් වුවද නිසැකවම ජාත්‍යන්තර වශයෙන් ආහාර බෝග නිෂ්පාදන හුවමාරු වෙළඳපොළට විශාල බලපෑමක් එල්ල කර තිබේ.

ස්ථාවර සමාජයක පදනම මෙන්ම ආර්ථිකයේ අතිශය තීරණාත්මක අංශයක් ලෙසින් මිනිස් හා මිනිස් අවශ්‍යතා සපුරාලන සත්ත්ව ප්‍රජාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර බෝග සැපයීම ඕනෑම රටක කෘෂිකර්මාන්තය දායකවේ. එබැවින් අප රටේ ද කෘෂිකාර්මික නිෂ්පාදන හා සැකසුම් කර්මාන්තයට කෝවිඩ් -19 හි බලපෑම ආනුභවිකව විමර්ශනය කිරීම සහ එම බලපෑම් ලිහිල් කිරීම සඳහා ගත හැකි පියවර ගවේෂණය කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස දකිමි. මක්නිසාදයත් අනාගතයේදී ජනිතවිය හැකි මේ හා සමාන බෝවන රෝග වැළැක්වීමේ ප්‍රයත්නයන් පිළිබඳ රෙගුලාසි සම්පාදනය කිරීමේදී ප්‍රතිපත්ති සම්පාදකයින්ට කිසියම් අවබෝධයක් මේ ඔස්සේ ලබා දිය හැකි බැවිනි.

කෙසේ වෙතත් මේ දක්වා කිසිදු අධ්‍යයනයක් මගින් මෙරට කෘෂිකාර්මික ආර්ථිකයට කෝවිඩ් -19 මගින් ඇති කරන බලපෑම ආනුභවිකව පරීක්ෂා කිරීමක් කරනවාද යන්න සැක සහිතය. එහෙයින් මෙරට කෘෂි ආර්ථිකය මුහුණ දෙන අභියෝග පිළිබඳව ගුණාත්මක ගවේෂණයක් උදෙසා රෝපණ ද්‍රව්‍ය හා පොහොර, බීජ නිෂ්පාදන කර්මාන්තය, බෝග නිෂ්පාදන සැකසීම, එළවළු කර්මාන්තය, පලතුරු කර්මාන්තය, මල් කර්මාන්තය හා පශු සම්පත් අභිජනනය සහ සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තය යනාදිය කෙරෙහි ඇති කර තිබෙන අහිතකර බලපෑම් කෙරෙහි අපි අවධානය යොමු කළ යුත්තෙමු.

ආරම්භයේ සිටම වසංගතය හා ඒ ආශ්‍රිත අගුළු දැමීම නිසා දහස් ගණනක් ආන්තික සත්ත්ව පාලනයේ නිරත ගොවීන්ට ඔවුන්ගේ පශු සම්පත් රැකගැනීම සහ ඔවුන්ගේ ජීවනෝපායන් තහවුරු  කර ගැනීම සඳහා විශාල බාධා ඇති වීම පමණක් නොව බිත්තර, කුකුළු මස්, කිරි මුදවාපු කිරි, යෝගට් සහ අනෙකුත් පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන සහ ඊට සම්බන්ධ ආදායම් උපයා ගැනීම කෙරෙහි ද බලපෑම් ඇති කරන ලදී.

විශේෂයෙන්ම නිෂ්පාදන අලෙවියෙන් පසු සේවක වැටුප් ගෙවීම කුඩා කුකුළු ගොවිපල හිමියන් හා කිරි ගොවියන් අපේක්ෂා කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුහට  ග්‍රාමීය හෝ ප්‍රාදේශීය වෙළදපොල වෙත නිෂ්පාදන සැපයීම උදෙසා  ප්‍රවේශවීමට ප්‍රමාණවත් තරම් ඉඩකඩ නොලැබිණි.

කුකුළු ගොවිපළ හිමියන්ගෙන් පැටවුන් සඳහා ඇති ඉල්ලුම පහත වැටීම හේතුවෙන් කුකුළු පැටවුන් අභිජනනයකර බෙදාහැරීමේ නිරත ආයතන වෙතද එහි අහිතකර බලපෑම එල්ලවී ඇති ආකාරය දක්නට ලැබුණි. ගොවිතැන් කටයුතු, අභිජනන මෙහෙයුම් සහ සැපයුම් යන වෙළඳපල දාමයන් හා සම්බන්ධ අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා රජය අවසර දී ඇතත් සමජගතවී ඇති අනියත බිය නිසා ප්‍රමාණවත් ශ්‍රමයක් ලබාගත නොහැකිවීම මත එකි ආයතන අර්බුද රැසකට මුහුණපා තිබේ.

අඩුම තරමින් අගුළු දැමීමේ පළමු අදියරේ අවසානය වනවිට සත්ත්ව ආහාර හා ඖෂධ යෙදවුම් ප්‍රමාණවත් නොවීම ඇති දැඩි කරන සතුන් හා නිෂ්පාදන ව්‍යාපාරය ලාභ නොලබන තත්ත්වයකට පත්කර තිබුණි. ආහාර අලෙවිකරන ආයතන හා ගබඩා වැසීයාම හේතුවෙන් බොහෝ ස්ථානවල සත්ත්ව ආහාර ලබා ගැනීම දුෂ්කර විය.

ආහාර සැපයුමට නිසි ප්‍රවේශයක් නොමැති හෙයින් මේ වන විටද කිරි ගොවීන්හට ඔවුන්ගේ ගවයින් හා මී හරකුන් පෝෂණය කිරීමට වියළි තෘණ හා පිදුරු මෙන්ම සංරක්ෂිත කැළෑ කෙරෙහි යොමු වන්නට සිදුව ඇත. මෑත කාලයේ බොහෝ ස්ථානවල සත්ත්වයින් උදෙසා තෘණ බිම් වෙන්කර දෙන ලෙස ඉල්ලා යාචකයින් මෙන් ජනාධිපතිවරයා ඉදිරියේ කරුණු වාර්ථා කිරීමට තරම් ගොවීහු අසරණවූ ආකාරය අපට දැකගත හැකි විය. එමෙන්ම සත්ත්ව ඖෂධ සපයා ගැනීමට සීමිත ප්‍රවේශයක් උද්ගතවීම තුල ඇතැම් විට සත්ත්ව රෝගා බාධ ව්‍යාප්තියට සහ සත්ත්ව මරණ වලට හා පොදුවේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේම කාර්යක්ෂමතාවයට හා ඵලදායිතාවයට බෙහෙවින් බලපාන බව පැවසිය හැක.

කෙසේ වුවත් ධාන්‍ය බෝග සහ වෙනත් අත්‍යවශ්‍ය කෘෂිකාර්මික බෝග නිෂ්පාදන සඳහා පහසුකම් සැපයීම, වී සදහා සහතික මිලක් නියම කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිය දිරිගැන්වීම උදෙසා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවා ක්‍රියාත්මක  කරවීම සහ කෘෂිකර්මාන්තය උදෙසා පොහොර සහනාධාරය ශක්තිමත් කිරීම හා එතරම් සාර්ථක නොවූවද ගෙවතු වගාව හා නාගරික ගෙවතු වගාව වැනි කටයුතු කෙරෙහි රජය ප්‍රතිපත්තිමය වශයෙන් විවිධ සාධනීය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතත් ඒ උදෙසා රාජ්‍ය යාන්ත්‍රණය තුල සක්‍රීය දායකත්වයක් ඊට අදාල සමාන්තර රාජ්‍ය සේවාවන්හි නිරතවන්නන් ඉටුකරන්නේද යන්න අතිගරු ජනාධිපතිතුමාගේ ‘ගම සමඟ පිළිසදරක් වැඩ සමග යළි ගමට’ වැඩසටහනින්  බොහෝ දෙනෙකුහට අවබෝධකර ගැනීම අපහසු නොවේ.

ඒ අතර මෙරට වී හා බඩ ඉරිගු වගාවට සැලකිය යුතු බලපෑමක් නිරෝධායන සිමාකිරීම් බලපා ඇති බවක් නොපන්වුවද එකි නිෂ්පාදන වෙළද පොළට යොමු කිරීමේදී වෙළඳ මාපියාවේ සීමාකාරී බාධක ඉදිරියට නොඑනු ඇතැයි පැවසිය හැකිද?. තවමත් වෙළද ප්‍රජාව හා තොග රැස්කරන්නන් නිරෝධායන පිළිවෙත් නොසලකා හැරීම මත ඔවුන්හට විවෘතව පවතින වෙළදපොල හුවමාරු මධ්‍යස්ථාන හා නගර අගුළු දැමීම සිදුනොවු ඇතැයි සිතිය නොහැක. ඒ අනුව ඇති වන ප්‍රවාහන අවහිරතා නිසා හෙට දිනයේද ආහාර සැකසුම් නිෂ්පාදනය කර්මාන්තයට දැඩි බලපැම් එල්ලවීම වළකාගත නොහැකිවේ.

එපමණක් නොව ග්‍රාමීය ගොවීන්ගේ වගාබිම් සුරක්ෂාකර ගැනීම උදෙසා වනසතුන් ගෙන් සිදුවන උවදුරු හේතුවෙන් ග්‍රාමීය කුටුම්භයන්ට උපයාගත හැකි ආදායම් ප්‍රතිශතය අඩුවීම කෙරෙහි බලපාන අතර ඔවුන්ගේ පුද්ගල සෞඛ්‍ය හා අධ්‍යාපනික වියදම් සඳහා කල හැකි වැය සීමාකරන අතර ඔවුන්ගේ අනාගත සංවර්ධනයට එය විභව අභියෝගයක් විය හැකිය. කෘෂිකාර්මික ක්ෂේත්‍රය මෙන්ම ඒ හා සමගාමී වන්නාවූ පශු සම්පත් අංශයේ ද,   නිෂ්පාදන ඉඩ ප්‍රස්ථා ඇහිරීම හා නිෂ්පාදන වෙළඳාමට බාධා ඇතිවීම විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ දිනපතාම අසන්නට දකින්නට ලැබේ. එවැනි පවුල් කුටුම්බ ගැන කිව හැක්කේ කුමක්ද?.

එහෙයින් කෘෂිකර්මාන්ත  අංශය තුල මානව සම්පත් සංවර්ධනය වැදගත්ම අංශයක් වන අතර එය ආහාර සුරක්‍ෂිතතාවයට සම්බන්ධයෙන් ද සෘජුවම බලපෑම් කරන බව සනාථවේ. එබැවින් කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්‍ෂිතතාවය අතර සම්බන්ධතා විශ්ලේෂණය කිරීමේදී කෝවිඩ් -19 වසංගත පාලන රෙගුලාසි හා නිරෝධානයන නීති කෘෂිකර්මාන්තයේ  වැදගත් අංශ වන ආහාර සැපයුම සහ ඉල්ලුම කෙරෙහි බලපාන බව පැවසිය හැක. එහෙයින් ඉදිරි කාලය සම්බන්ධයෙන් මෙකී අවදානම බැහැරලිය නොහැකි බව පැවසිය හැක.

මක්නිසාදයත් නිෂ්පාදනය, ඇසුරුම්කරණය, බෙදා හැරීම, ගබඩා කිරීම සහ අලෙවිකරණය ආහාර සැපයුම් දාමය යනු කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතියක් පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ කරන ශක්තිමත් ජාලයක් වන හෙයිනි. කෝවිඩ් පළමු රැල්ලේදී සමාජ හුදකලාව පිළිබඳ නිවේදන මගින් සිදුවූයේ සැපයුම් මධ්‍යස්ථාන හා වෙළද ප්‍රජාව සමහර නිෂ්පාදන හිඟයක් ජනනය කිරීමයි. එසේ තිබියදීත්, ආහාර සැපයුම ස්ථාවර වී ඇත්තේ එය ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ පවත්වා ගත් සූක්ෂම ක්‍රමවේදය හේතුවෙනි. ඒ අනුව රජයේ කාර්යභාරය වූයේ ආහාර වටිනාකම් දාමයන්ට බාධා නොවන ලෙස සැපයම් ප්‍රවර්ධනය කිරීම සහ බෙදාහැරීම් ජාලය නිරෝධායන රෙගුලාසි යටතේ රාජ්‍ය යාන්ත්‍රණයක් ඔස්සේම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමයි.

කෙසේ වුවද කෘෂිකාර්මික කටයුතු උදෙසා ශ්‍රම සංචලතාව සඳහා රජයන් විසින් පනවා ඇති සීමාවන් සම්බන්ධයෙන් යම් යම් ගැටළු තිබුණද, මූලික අවශ්‍යතා සැපයීම සාමාන්‍යයෙන් සහතික කෙරිණි.  එසේ වුවද අපනයනය උදෙසා නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් තත්ත්වය වෙනස් විය. දේශසීමා වැසීම හෝ පාරිබෝගික ද්‍රව්‍ය උදෙසා වන සෞඛාරක්ෂක රෙගුලාසි හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාමට ඇතිකර තිබෙන බාධා මෙන්ම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගනුලබන එවැනි ක්‍රියාදාම තාවකාලික විය හැකිය. එය රඳා පවතින්නේ වෛරසය පැතිරීම වැළැක්වීමට එක් එක් රටවල් ගනු ලබන ක්‍රියාමාර්ග මතයි.

එම තත්ත්වය යටතේ මෙරට තුල ද අවිනිශ්චිතතාවය සහ ජනතාව සතු වියපැහැදම් කිරීමේ ධාරිතාව අඩුවීම හේතුවෙන් ආහාර සඳහා ඇති ඉල්ලුම අඩුවිය. මෙම අඩුවීම තවදුරටත් එලෙම පවතිනු ඇත. පාලන කරගැනීම සීමාකාරී වුවහොත් වසංගතය දීර්ඝ කාලයක් තිස්සේ පැවතිය හැක. ඒ අනුව මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. ඒක පුද්ගල මාසික ආදායම් අඩුවීම හා රැකියා අහිමිවීම් හේතුවෙන් සීමිත මූල්‍ය පහසුකම් යටතේ පවුල් කුටුම්බ වල පෝෂණ අවශ්‍යතා උදෙසා සමාජ සත්කරක වැඩසටහන් දියත් කිරීමට සිදුවනු ඇත. එවැනි තත්ත්වයක් යටතේ ප්‍රජාවගේ මූලික අවශ්‍යතා සඳහා ආහාර සලාක ක්‍රමයකට බෙදා හැරීමට හෝ ආහාර සලාකවල පිරිවැයට සමාන මූල්‍ය ණය පහසුකම් පැකේජ ප්‍රදානය කිරීමට සිදුවිය හැක. ඒ ඔස්සේ ආහාර හුවමාරුවට ඇති බාධා අවම බැවින් ආහාර සැපයුම ස්ථාවරව පවත්වාගත හැක. 

නිරෝධායන ප්‍රතිපත්ති හේතුවෙන් නුදුරු අනාගතයේ ආහාර හා පාන අංශයේ මාර්ගගත ඉල්ලුමේ වැඩිවීමක් පවතින තත්ත්වය වඩා පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කළහැක. ස්පර්ශය මත වෛරසයක් පැතිරෙන මෙවැනි අවස්ථාවන්හිදී, සම්බන්ධතා රහිත බෙදා හැරීමේ සේවාවන් පාරිභෝගිකයින් විසින් වඩාත් කැමතිවනු  නොඅනුමානය. උදාහරණයක් ලෙස නිෂ්පාදන බෙදා හැරීම සඳහා ඩ්‍රෝනයානා භාවිතා කළහැකිවීම. ආහාර සුරක්‍ෂිතතාවයෙන් ගම්‍ය වන්නේ සෑම කෙනෙකුටම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට ඉඩ සලසන ආහාර සඳහා අසීමිත ප්‍රවේශයක් ඇති බවයි. දේශීය ආහාර සැපයුම් දාම ක්‍රියාකාරීව තබා ගැනීම සහ ආහාර සැපයුම් පද්ධතිය හරහා වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි පියවරයන් තවදුරටත් පවත්වා ගනිමින් කටයුතු කළ යුතුවන්නේය.

විශේෂයෙන්ම වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණය වන දරුවන්ගේ ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අවදානම අවම කිරීමට ක්‍රියාකිරීම යෝග්‍යවේ. අනුගමනය කරන ඕනෑම පියවරක මුලිකාංගය විය යුත්තේ ජනගහනයේ සෞඛ්‍ය හා ආහාර සුරක්‍ෂිතතාවය, ආර්ථික වර්ධනයට අහිතකර ලෙස වන බලපෑම අවම කිරීමය. නිදන්ගත රෝග හා දෛනිකව එක් වේලක් සදහා හෝ ආහාර සපයාගත නොහැකි සහ සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයින් සාමාන්‍ය ජන ජීවිතයට ගෙන ඒමට හැකි වන පරිදි ඔවුන්ගේ ජීවනෝපායන් වලට බාධා කිරීම අවම වන පරිදි  අප කටයුතු කළ යුත්තෙමු.

ශ්‍රම සැපයුම හා අමුද්‍රව්‍ය හිඟය තවදුරටත් පැවතුනහොත් සත්ත්ව ආහාර ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පශු සම්පත් ගොවීන් දැඩි පීඩනයට ලක්වන වනු ඇත. කෝවිඩ් -19 හි සෘණාත්මක බලපෑම් සමඟ කටයුතු කිරීම සඳහා පශු සම්පත් හිමි ගොවීන් නිෂ්පාදන අංශයෙන් බැහැරවීම වලකාගත නොහැක. එමෙන්ම පශු සම්පත් කර්මාන්තයට සහ එම සැකසුම් ව්‍යාපාරවලට දැනටමත් බලපෑම් එල්ල වී ඇති අතර එය අනාගතයේ දී බොහෝ දෙනෙකුගේ පෝෂණ ඌනතාවලට බරපතල තර්ජනයක් විය හැකිය. ආහාර මිල පාලනය කිරීම සහ වෙළඳපල අධීක්ෂණය ශක්තිමත් කිරීම, ආහාර සැපයුම සහතික කිරීම සඳහා සැපයුම් කර්මාන්තයේ සුමට ක්‍රියාකාරිත්වයට සහායවීම, කෘෂිකාර්මික අංශයට මූල්‍ය ආධාර සැපයීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්බව පැවසිය හැක.

දේශීය වශයෙන් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වෙළඳපොළ කෙරෙහිද වෛරසයේ සැලකිය යුතු බලපෑමක් දක්නට ලැබේ. මෙම රෝගයේ උප්පත්තිය සිදුවූවායැයි අනුමානකරන චීනයේ කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය හා අපනයන අංශයේ කළමනාකරණය අඩාල වීමත් සමඟ මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන හා ආහාර සැකසුම් කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධන යෙදවුම් ලබා ගැනීමට ඉඩකඩ ඇහිරී ඇත. ඒ හේතුවෙන් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සේවා සපයන්නන්ගේ මෙහෙයුම් ද අඩාල වී තිබේ. ශ්‍රමය සංක්‍රමණය වීම සහ අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් ගොවිපල යන්ත්‍රෝපකරණ නිෂ්පාදන අංශය අභියෝග රැසකට මුහුණ දී ඇති ආකාර එවැනි ආයතන පරිශ්‍ර හා අලෙවි නියෝජිත ආයතන වෙතින් දැකගත හැකිවේ.

මේ අනුව, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වෙළඳපල නවප්‍රවණතාවලට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිරතවන්නන්හට මුහුණදිමට සිදුවේ. තාක්ෂණය මඟින් ශ්‍රම ඌනතාවයට දැක්වූ සහාය එම ක්ෂේත්‍රයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි කරනු ලැබූ බව නොරහසකි. දේශීය වශයෙන් කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනය කරන හා එකලස්කරන සමාගම් විසින් නව සාමාන්‍යකරනය යටතේ මෙම ක්ෂේත්‍රය උදෙසා යම් උත්තේජනයක් ඇති කිරීමට යොමුවිය යුතු කාලයකි මෙය. මක්නිසාදයත් අපගේ මූල්‍ය ශක්ක්‍යතාව මත තවදුරටත් රුපියලේ අගය පහත වැටීම වළකාගත නොහැකි වන හෙයින් ආනයනය කරන කෘෂි යන්ත්‍රෝපකරණ හා සහායක උපකරණ සදහා විශාල වියපැහැදමක් දැරීමට සිදුවන බැවිනි. එවැනි තත්ත්වයක් යටතේ එකී යන්ත්‍රෝපකරණ අළුතෙන් මිලදී ගැනීමට ගොවින් පෙළඹේ යැයි අපේක්ෂා කළ නොහැක.

එසේ වුවද ගොවීන්ගේ අවශ්‍යතාවට හා පරිමාණයට සරිලන යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට පහසුකම් සැලසීමට පමණක් නොව ඒ උදෙසා පසුපෙළ සේවා සපයන්නන් දිරිමත් කිරීම ද අප සිදු කල යුතුවේ.කෝව්ඩ් -19 අර්බුදය තුළ ශ්‍රම හිඟය අවම කිරීම සඳහා පරිමාණයට ගැලපෙන යන්ත්‍රෝපකරණ වඩාත් වැදගත් වන්නේ එබැවිනි. වැඩිවන ශ්‍රම පිරිවැයට ප්‍රවේශවීමට නොහැකි ගොවීන්හට මෙය ඵලදායී විසදුමක් වනු ඇත. සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම සහ දිරිගැන්වීම අතරතුර ගොවීන්ට තීරණාත්මක වැඩකටයුතු පහසුකර ගැනීමට මෙමඟින් ඉඩකඩ ලැබෙනු ඇත. ඒ උදෙසා දේශීය වශයෙන් කුඩා යන්ත්‍ර නිෂ්පාදනය  කිරීම සඳහා පෞද්ගලික අංශයේ සමාගම්වල සහාය ඇතිව ග්‍රාමීය සේවා සපයන්නන් පදනම් කරගෙන තාක්‍ෂණ සේවා බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ඔස්සේ බොහෝ ගැටළු අතික්‍රමණය කල හැකිවේ. ඒ අනුව බහුතරයක් වූ කෘෂි හා සත්ත්ව පාලන ක්ෂේත්‍රයට වුවමනා යෙදවුම් දේශීය වශයෙන් උත්පාදනය කර ගැනීමට ක්‍රියාකළ යුතු වන්නේමය. මේ උදෙසා අවශ්‍ය මානව සම්පත හා යටිතල පහසුකම් මෙරට තුලම ඇතිබව බලධාරීන් අවබෝධකර ගත යුතුවේ.

එමෙන්ම කෝවිඩ් -19 සීමාවන් හේතුවෙන් මූල්‍ය හා ආහාර සංචිත වේගයෙන් හැකිලෙමින් පවතින නොරහසකි. අවිධිමත් වෙළඳපොලවල ඉල්ලුමට දැඩි ලෙස බලපාන මෙම තත්ත්වය ගොවිතැන සඳහා ශ්‍රම උපයෝගීතාව වැඩි කරනු ඇතැයි යමෙකු අපේක්ෂා කළ හැකි නමුත් ශ්‍රමිකයින්ගේ දායකත්වය ඊට ලැබේද යන්න ගැටළුවකි. එපමණක් නොව ආසාදන පැතිරීමේ අවදානම හා ශ්‍රම ඌනතාව හේතුවෙන් දෛනික ශ්‍රම පිරිවැය ද සැලකිය යුතු ලෙස වැඩිවනු ඇත. රෝපණ කටයුතු හෝ අස්වනු  නෙලීම වැනි තීරණාත්මක බෝග කළමනාකරණ ක්‍රියාකාරකම් සහතික කර ගැනීමේදී ගොවිපල හිමියන් මෙන්ම ගොවීන්හට ද මෙම ගැටළු සහගත තත්ත්වයට මුහුණ පෑමට සිදුවේ.

එසේම සහල් හා බඩ ඉරිඟු නිෂ්පාදන කලාපවල නිෂ්පාදන මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම උදෙසා රජයන් විසින් ප්‍රතිපත්තිමය වශයෙන් කඩිනම් තිරසාර වැඩසටහනක් මඟින් ශ්‍රම සම්පාදන ගැටළු විසඳාගත හැකි පරිමාණයට ගැලපෙන ගොවිපල යාන්ත්‍රෝපකරණ හදුන්වා දීමෙන් අස්වනු තිර කිරීමට මෙන්ම ගොවීන්ගේ වැය බර අඩු කිරීමට ක්‍රියාකලහැක.  වැදගත් වන්නේ ‘පරිමාණුකූලව සුදුසු යාන්ත්‍රීකරණය’ scale-appropriate mechanization යන සංකල්පය අර්ථවත් කල හැක්කේ කවදාද සහ කොතැනද යන්න ඉගෙන ගැනීම හා ඒ උදෙසා ක්‍රියාත්මක විය හැකි නිළධාරිවාදය යටපත් කිරීමයි.

එමෙන්ම ශ්‍රමයෙන් ලැබෙන ආදායම මත ජීවිකාව බෙහෙවින් රඳා පවතින ශ්‍රමය හිඟ නොවන පළාත්හි ප්‍රජාවන් රැකගැනීමට සමහර ක්ෂේත්‍ර යාන්ත්‍රිකකරණයට නතු කිරීම ගැටළු සහගත විය හැක. මෙම ගතිකතාවයන් අවබෝධ කර ගැනීමෙන් සහ හඳුනාගත් සේවාවන් උදෙසා නිවැරදි යන්ත්‍ර ඉලක්කගත කිරීමට අපි කටයුතු කළ යුත්තෙමු. පවතින ශ්‍රමය හා ඇතිවිය හැකි ශ්‍රම ඌනතාව මත වන පීඩනය අඩු කිරීමට සහ ශ්‍රමිකයින්ගේ බේබදුකම සමනය කිරීමට අමතරව කුඩා ඉඩම් හිමි ගොවියන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිමාණයට නවීන ගොවිපල උපකරණ භාවිතය ඔස්සේ ග්‍රාමීය ගොවි ප්‍රජාව තුල යාන්ත්‍රීකරණය කෙරෙහි උත්තේජනයක් ජනිත කළ යුතුවේ. එසේම ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම සඳහා වෙළඳපල වෙත සෘජුව පිවිසීමට මෙන්ම සිය අවශ්‍යතා උදෙසා රෝපණ ද්‍රව්‍ය හා වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් මිලදී ගැනීමට ඇති බාධා හා සීමාකාරී තත්ත්වයන් ඉවත් කර අඛණ්ඩ ආහාර බෝග නිෂ්පාදනයක්  සහතික කර ප්‍රාදේශීය වෙළඳ ව්‍යාපාරික මාපියාව නතරකර දැමීමට  ක්‍රියාකළ යුතුවේ.

දේශීය නොවන කෘෂි-නිෂ්පාදන මෙරට ගොවීන්ගේ ආර්ථිකයට ඇති කරන බලපෑම අවම කිරීමට රජය ගත් උත්සාහයත්, නව වෛරසය සහ එය මර්දනය උදෙසා රජයේ ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳවත් තාර්කික අවබෝධයක් පුරවැසියන්හට දැන් ලැබී  ඇත. කෙසේ වුවද මෙරට ජනසමාජයේ සාමාන්‍ය සංවර්ධනයට සහ එහි සියලුම කොටස් වලට වසංගතය එකසේ බලපැම් එල්ලකර ඇතිබව නොරහසකි.  රෝගය පැතිරයන විට තත්ත්වය වඩාත් නරක අතට යොමුවීම නිසා සංචලනයන් සීමාකිරීම වඩ වඩාත් දැඩි කිරීමට හේතුවී ඇති අතර ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ගෙන ඒමට අපහසුවීම හා ආහාර බෝග නිෂ්පාදන වියපැහැදම් ඉහළයාම පාලනය කිරීමට රාජ්‍ය මැදිහත්වීම් ජාලගත වෙළද ප්‍රජාව විසින් අත්තනෝමතික ලෙස ව්‍යර්ථකරන ආකාරය ද අපි තේරුම් ගත යුත්තෙමු.

කෙසේ වුවද වර්තමාන වසංගතය හමුවේ ශ්‍රමය හා ගැටෙන කෘෂි හා පශු සම්පත් ආශ්‍රිත හැකි සෑම අංශයක්ම යාන්ත්‍රීකරණය උදෙසා නව දර්ශනයක් අප ගොඩනඟාගත යුතුවේ. එමෙන්ම පලතුරු හා එළවළු නිෂ්පාදනය යටතේ යෝග්‍ය හා උචිත යාන්ත්‍රිකකරණය ඔස්සේ සුළු පරිමාණ ආහාර සැකසුම් ක්ෂේත්‍රයක් සඳහා මෙතෙක් අප නිශ්චිත ක්‍රියාදාමයක් කෙරෙහි අවධානයක් යොමු කළ බව දැකිය නොහැක. මෙම වසංගතය අපට පෙන්වා දුන්නේ එයයි. ප්‍රාදේශීය වශයෙන් ආහාර සම්පානය කර ගැනීමේදී අප හුදෙකළා වුයේ එනිසා නොවන්නේද?. මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සංවර්ධන සමායෝජිකයින් මෙම තත්ත්වය වටහාගත යුතු නොවේද? කෙසේ වුවද පරිමාණුකූලව සුදුසු යාන්ත්‍රීකරණය කෙරෙහි අප යොමුවූවානම් මෙවැනි අභියෝග හමුවේ නොසැලී සිටිමට හැකියාව නොතිබුණා නොවේද?. ඒ උදෙසා පූර්වාරක්ෂක පියවර දේශීයත්වයට ගලපාගත හැකි ආකාරය හදුනාගැනීමට දියවන්නාවෙන් එගොඩවී ශීත කාමර වල සිටින උපදේශකයින් ද සමගින් ටයි ගැට ලිහා එළියට ආයුතු කාලයයි මේ.

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

Related Posts