විදේශ ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමති ප‍්‍රසන්න

Spread the love

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි වසර 05 තුළ මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි.

ජනාධිපතිවරයාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි.

ඒ අනුව ආයෝජන අනුමැතිය වේගවත් කිරිමේ ක්‍රියාවලිය සදහා විශේෂ කමිටු දෙකක් ක්‍රියාත්මකයි. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති පරික්ෂණ කමිටුව හා ඉඩම් වෙන් කිරීමේ කමිටුව එම කමිටු දෙකයි. ව්‍යාපෘති නිරීක්ෂණ කමිටුව මගින් සියලුම ආයෝජන අයදුම්පත් වලට ඊට සම්බන්ධ මණ්ඩලයේ ක්‍රියාකාරී දෙපාර්තුමේන්තු සමග එක් ව කඩිනම් අනුමැතිය ලබා දීමට කටයුතු යොදා ඇත. ඉඩම් වෙන් කිරීමේ කමිටුව මගින් තාක්ෂණික හා මුල්‍ය නිර්ණායකයන්ට අනුකූලව ආයෝජන මණ්ඩල ඉඩම් ඇගයීමකට ලක් කර ඉඩම් නිසි ලෙස පවරා දීම සිදු කරනු ලබයි.

මීට අමතරව මාර්ගගත (Online) ආයෝජන පහසුකම් සැපයීමේ ක්‍රියාවලියද වේගවත් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. කිසියම් ආයෝජනයක් සදහා අවසර ලබා ගැනීමේ දී ආයතන ගණනාවකින් අනුමත කිරීම හා බලපත්‍ර ලබා ගැනීමට ආයෝජකයන්ට සිදු වේ. එලෙස අනුමත කිරීම් හා බලපත්‍ර ලබාගැනීමට සිදුවන ආයතන සංඛ්‍යාව 24 කි. මෙම ආයතන අතර පවතින සම්බන්ධිකරණයේ අඩුපාඩු හේතුවෙන් ආයෝජන අනුමත කිරීමේ දී සැලකිය යුතු කාලයක් ගතවන බව තමන්ට නිරීක්ෂණය වුයේ යැයි ඇමතිවරයා කියා සිටී.

මෙම තත්ත්වය වැලැක්වීම සදහා තනි කවුළු ආයෝජන පහසු කිරීමේ කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබේ. ඒ අනුව එම බලකාය මගින් අතථ්‍ය වෙබ් වේදිකාවක් (Virtual Web Portal) මගින් නියමිත කාල සීමාවක් තුළ අදාළ ආයතන වල අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉටු කිරීම සිදු කර ගැනීමට මැදිහත් වන බව ද ඇමතිවරයා කියයි.

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආනයන අපනයන පහසුකම් වැඩි දියුණු කිරිම සදහා ද පියවර ගෙන තිබේ. එමෙන් ම ආයෝජකයන් සහ විදේශිය කාර්යය මණ්ඩල සදහා වීසා නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා වීසා බලපත්‍ර අයදුම් කිරිමට ආයෝජන මණ්ඩලයේ මාර්ගගත (Online) වීසා ක්‍රමය ද ක්‍රියාත්මකයි.

මීට අමතරව ආයෝජන ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම සදහා “ඉදිරිපස කාර්යාලය (Front Office Desk)”පිහිටුවා ඇත. මෙරට ආයෝජනයට අපේක්ෂා කරන ආයෝජකයන්ගේ යෝජනා භාර ගැනීම, මෙම කාර්යාලය විසින් සිදු කරනු ලබන අතර ඊට අදාළ ආයෝජන මණ්ඩල පිරි සැකසීමේ කටයුතු පසුපස කාර්යාල විසින් සිදු කරනු ලැබේ. මෙරටට පැමිණෙන සියලු ආයෝජන සම්බන්ධයෙන් ස්වාධින හා විනිවිදභාවයෙන් යුතු ඇගයීමක් සිදු කිරීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

RSL

Related Posts