විදුලි කප්පාදු කිරීමේ කාලසටහනේ වෙනසක්

Spread the love

උසස් පෙළ විභාගයට පහසුකම් සැලසීම සදහා විදුලිය කප්පාදු කිරීමේ සැලස්ම වෙනසකට ලක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදුන් බවට මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඒ අනුව ප්‍රකාශයට පත් කර ඇති කාලසටහනට අනුව අද පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 2ක විදුලි කප්පාදුවකට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අද අවසර ලබා දුන්නේය.

දහවල් කාලයේ විදුලි කප්පදු නොකර සිටීමේ උත්සාහයක්

පෙබරවාරි 21 වන දින පස්වරු 5 දක්වා විදුලිය කප්පාදු නොකර සිටීමට හැකි උපරිම අයුරින් උත්සහ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

කෙසේවෙතත් ලංවිම ඉල්ලීම පරිදි අද (21) දින විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ, පෙරවරු 8.30 සිට පස්වරු 7.30 අතර දිවයින පුරා පැයක විදුලි කප්පාදුවකටත්, දකුණු පළාතේ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 අතර පැය 3 ක විදුලි කප්පාදුවක් සඳහායි.

එහෙත්, දැනට පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාග හේතුවෙන් දැඩි ලෙස සිඳි ගොස් ඇති ජලාශ සහ තාප විදුලිය සඳහා අනපේක්ෂිත ඉන්ධන සැපයුමක් තිබියදීත්, දිවා කාලයේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට ලංවිම සෑම උත්සාහයක්ම දරන බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිණි පවසා සිටියේය.

මේ අතර රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අද (21) නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ ,මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කරන බවයි.

ඊට අමතරව දුර බැහැර ප්‍රදේශවල සිට රාජ්‍ය නිලධාරීන් කොළඹට කැඳවීම් නව චක්‍රලේඛයෙන් සීමා කෙරෙනු ඇති.

හැකි සෑම අවස්ථාවකදීම zoom ඔස්සේ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පවත්වන ලෙස ද උපදෙස් දුන් බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඊට අමතරව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත කරන ලෙස ද, නව චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබේ.

මේ අතර විදුලි කප්පාදු කිරීම් වලට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමට විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය තීරණය කර ඇත.

මේ අතර පෙබරවාරි 18 වනදා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ බලාගාර කිහිපයක් අක්‍රීයවීම නිසා එදින සිට මෙගාවොට් 400ක පමණ විදුලි හිඟයක් මතුව ඇති බවත් එම නිසා කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ ඉන්ධන ද එදින රාත්‍රී 7 වන විට අවසන්වීමට නියමිතවැ තිබූ බවයි.

එදින රාත්‍රීයේ උපරිම ඉල්ලුම මෙගා වොට් 2650ක් වනු ඇතැ යි ඇස්තමේන්තුකර තිබෙන බවත් එදින රාත්‍රිය වන විට මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට අහිමි වීම නිසා පෙබ. 18 දා අදියර දෙකක් යටතේ විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි.

“බලාගාරවලට තෙල් නැතිවුණොත් එම තත්ත්වයට ඇතිවෙයි කියලා අපි උපකල්පනය කරලා තිබුණා. අද එම තත්ත්වයට මුහුණ දීලා තියෙනවා,” ඔහු පසුවිය සිකුරාදා පවසා සිටියේ ය.

“අපිට විකල්ප නැහැ. තෙල් නැතිවුණාම බලාගාර ක්‍රියාත්මක කරන්න බැහැ. යතාර්ථයට මුහුණ දෙන්න වෙනවා.”

බලාගාර සඳහා අවශ්‍ය නැප්තා සහ ෆර්නස් ඔයිල් ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබා දීමට නියමිතව ඇතැ යි ද ඔහු සඳහන් කළේ ය.

ඉදිරියටත් විදුලිය කැපෙයි ද?

“විදුලිය කප්පාදුව පිළිබඳ තීරණය දවසින් දවස තමා තීරණය කරන්න වෙන්නේ,” රත්නායක මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, සඳුදා දිනයෙන් ආරම්භ වන සතිය අසීරු විය හැකි බව යි. අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සියලු පරිභෝගකයින් සහයෝගය දිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

“ජල සංචිත ප්‍රමාණයත් අඩුවෙනවා. අද සිට ජල විදුලි උත්පාදනය ගිගාවොට් පැය 7.5දක්වා අඩු කරනවා,” රත්නායක පැවසීය.

අද වන විට පුද්ගලික ජනක යන්ත්‍ර සතු ආයතනවල විදුලි පරිභෝජනය මෙගාවොට් 70ක් ජාතික පද්ධතියෙන් ඉවත්කර, ඔවුන්ගේ ජනක යන්ත්‍ර භාවිතයට යොමුකර ඇති බව ද ඔහු පවසා සිටියේ ය. ඉදිරියේ දී පෞද්ගලික ආයතන සතු ජනන යන්ත්‍ර වැඩි වශයෙන් භාවිත කිරීමට යොමු කිරීමට පියවර ගන්නා බව ද සඳහන් විය.

විදුලිය පරිභෝජනය අඩු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිය ද, විදුලි පරිභෝජනයයේ අඩුවීමක් දක්නට නැතැ යි පෙනී යන බව ද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ය. මහජනතාව තමන්ගේ විදුලි පරිභෝජනය අඩු කළ යුතුයැ යි ඔවුන් පවසයි.

අද (21) පස්වරු 4.30 සිට රාත්‍රි 10.30 දක්වා අතර කාලය තුළ දිවයින පුරා කාණ්ඩ හතරක් යටතේ පැය 02ක විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක අතර දිවයින පුරා විදුලි කප්පාදුව සිදුකරන එම කාලසටහන පහතින් දැක්වේ.

විදුලි කප්පාදු කිරීමේ කාලසටහන
විදුලි කප්පාදු කිරීමේ කාලසටහන
විදුලි කප්පාදු කිරීමේ කාලසටහන
විදුලි කප්පාදු කිරීමේ කාලසටහන
විදුලි කප්පාදු කිරීමේ කාලසටහන

Related Posts